මෝදිගේ විශේෂ සීෂෙල්ස් ගමන - ලෝකයේ වයස්ගතම කැස්බෑවාත් බලන්න යයි
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය අතරතුර, ලෝකයේ වයස්ගතම ජීවී භූමිය සත්වයා ලෙස සැලකෙන “ජොනතන්” නමැති දැවැන්ත කැස්බෑවා හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1832 වසරේ පමණ උපත ලැබූ බවට සැලකෙන ජොනතන් මේ වන විට වයස අවුරුදු 194ක් පමණ වන අතර, ඔහු ලොව වයස්ගතම ජීවමාන භූමි සත්වයා ලෙස ගිනස් වාර්තා අතරටද එක්ව තිබේ.
ඇස් පෙනීම දුර්වල වීම සහ ගඳ සුවඳ දැනීම අඩුවීම වැනි වයස්ගතභාවයේ ලක්ෂණ තිබුණද, පශු වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ රැකවරණය හේතුවෙන් ජොනතන් තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව සඳහන් වේ. වයස්ගත වීම සහ දිගු ආයු කාලය පිළිබඳ පර්යේෂණ සඳහාද ඔහු විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා සීෂෙල්ස් ජාතික උද්භිද උද්‍යානය වෙත පැමිණ, පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සංකේතවත් කරමින් වෘක්ෂ රෝපණ වැඩසටහනකටද සහභාගී වීමට නියමිතය.
ඉන්දියාව සහ සීෂෙල්ස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 50ක් සපිරීමත් සමඟ පැවැත්වෙන (Golden Jubilee) ජාතික දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද අග්‍රාමාත්‍ය මෝදි සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය අතරතුර සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති අතර, සාගර ආරක්ෂාව, දේශගුණික ක්‍රියාමාර්ග සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාව සහ සීෂෙල්ස් අතර ඉන්දු-මහසාගර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සංචාරය විශේෂ වැදගත්කමක් දරන බවයි.