මැදපෙරදිග අර්බුදය මැද මෝදි සහ ඉරාන ජනපති කිර්ගිස්තානයේදී හමුවෙති
කිර්ගිස්තානයේදී ඉන්දීය අගමැති මෝදි ඉරාන ජනාධිපති සමඟ සාකච්ඡා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවරදී පවත්වා තිබේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සමගාමීව මෙම හමුව පැවැති අතර, ඉරානය හා සම්බන්ධ යුද තත්ත්වය ආරම්භ වීමෙන් පසු නායකයන් දෙදෙනා පළමු වරට මුහුණට මුහුණ හමුවූ අවස්ථාව මෙය බව වාර්තා වේ.
සාකච්ඡාවේදී ඉන්දියාව සහ ඉරානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කර ඇති අතර, දෙරටටම වැදගත් ක්ෂේත්‍රවල ඒකාබද්ධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම හා පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරාග්චි ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
මැදපෙරදිග යුධ ගිනි උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාර - UAE ආරක්ෂක අමාත්‍යාංශය නිහඬයි
හමුවේ වැදගත්කම
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික තත්ත්වය දැඩි ආතතියකට පත්ව ඇති පසුබිමක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.
ඉරානයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් දස දෙනා අතර ඉන්දියාවද සිටින නමුත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් දෙරට අතර ආර්ථික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.
මෝදි සහ පෙසෙෂ්කියාන් මීට පෙර මාර්තු 21 වැනිදා දුරකථන සංවාදයක නිරත වී ඇති අතර, එහිදී මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි.
එමෙන්ම ජූනි මාසයේදීද නායකයන් දෙදෙනා අතර දුරකථන සංවාදයක් පැවති අතර, එහිදී ඉරාන ජනාධිපතිවරයා මැදපෙරදිග කලාපයේ වර්ධනයන් පිළිබඳව මෝදි දැනුවත් කර තිබේ.
ගැටුම අවසන් කිරීම සඳහා ඇති කරගත් අවබෝධය පිළිබඳව මෝදි එහිදී සිය ප්‍රසාදය පළ කර ඇති අතර, දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.
මේ අතර, ගැටුම සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට පක්ෂපාතී පෙසෙෂ්කියාන් පවසා ඇත්තේ ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකරන නමුත්, ආක්‍රමණිකයන්ට එරෙහිව තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි.
කලාපයේ අස්ථාවරත්වය සියලු රටවලට අහිතකර බැවින් ආර්ථික හා ආරක්ෂක අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා රටවල් අතර සහයෝගීතාව හා එකඟතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවද ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මෝදි - පෂිනියන් හමුවක්
SCO සමුළුවට සමගාමීව මෝදි ඉන්දීය-ආර්මේනියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ආර්මේනියානු අග්‍රාමාත්‍ය නිකොල් පෂිනියන් සමඟද සාකච්ඡා කර තිබේ.
ආරක්ෂක, ආර්ථික, ඖෂධ, විද්‍යා හා තාක්ෂණ, සංස්කෘතික සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළු අංශ ගණනාවක දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව නායකයන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇත.
එමෙන්ම බටහිර ආසියානු කලාපයේ තත්ත්වය ඇතුළු කලාපීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳවද ඔවුන් සාකච්ඡා කර තිබේ. මේ අතර, මෝදි පසුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිත අතර, කිර්ගිස්තාන ජනාධිපති සදිර් ජපරොව්ගේ ආරාධනයකට අනුව 6 වැනි ලෝක නෝමැඩ් ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භක උත්සවයටද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.