ඉන්දීය ක්රිකට් සභාපති පුටුව මිතුන් මන්හාස්ට
ඉන්දීය ක්රිකට් ආයතනයේ (BCCI) නව සභාපතිවරයා ලෙස මිතුන් මන්හාස් තේරී පත්ව ඇත.
BCCI හි 94වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (28) පැවැත්වූ අතර, එහිදී මන්හාස් නිතරගයෙන් සභාපති ධුරයට පත්විය.
ඉන්දීය පළමුපෙළ ක්රිකට් ක්රීඩකයකු මෙන්ම දිල්ලි ප්රාන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වන මන්හාස්, ඉන්දීය ක්රිකට් ආයතනයේ 37වන සභාපතිවරයා ලෙස පත්ව තිබේ.
45 හැවිරිදි මන්හාස්, පළමු පෙළ තරගවලදී ශතක 27ක් සහ අර්ධ ශතක 49ක් ඇතුළුව ලකුණු 9,714ක් රැස්කර ඇති අතර, කඩුලු 40ක් ද බිඳ හෙලා ඇත.
දිල්ලි ප්රාන්ත කණ්ඩායමට අමතරව, ඔහු ඉන්දීය ඒ, ඉන්දීය 19න් පහළ, චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි ඩෙයාඩෙවිල්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක් නියෝජනය කර ඇත.
හිටපු BCCI සභාපති රොජර් බිනී ඉකුත් අගෝස්තු මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඒ හේතුවෙන් උප සභාපති රජීව් ශුක්ලා වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේය.