“අස්වැසුමට සිදුවී ඇති දේ ඇමති හෙළිකරයි'' - ප්‍රතිලාභීන්ට වෙලා තියෙන දේ මෙන්න

Report

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභය ලබන පවුල් සංඛ්‍යාව පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බව අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අනුව 2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස සටහන් වී තිබුණද, මෙම වසරේ අගෝස්තු මාසය වන විට එම සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩුවී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ලබාදුන් පිළිතුරකදී මෙම කරුණු අනාවරණය විය.

එහිදී විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය ලබාදෙන අස්වැසුම සහනාධාරය කප්පාදු කරන ලෙස ලබාදුන් උපදෙස් අනුව මෙම කප්පාදු කිරීම සිදු කළේද යන්න පිළිබඳවය.

මීට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත්, එම වැඩසටහන ආරම්භයේදීම නැවත සමීක්ෂණයක් සිදුකළ යුතු බවට පනත මගින්ම දන්වා ඇති බවත්ය.

ඒ අනුව පළමු සහ දෙවන අදියරවලදී ලැබුණු අයදුම්පත් මේ වන විට නැවත සහතික කරමින් පවතින බවත්, එම කටයුතු මෙම මාසය අවසන් වන විට නිම කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අස්වැසුම වැඩසටහන 2023 වසරේදී ආරම්භ කරන විට ප්‍රතිලාභීන් 1,773,445ක් සිටි බවත්, 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 1,761,116ක් ලෙස සටහන් වී ඇති බවත්ය.

එමෙන්ම 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස සටහන් වූ නමුත්, 2026 වසරේ අගෝස්තු මාසය වන විට එය 1,251,522ක් දක්වා අඩුවී ඇති බවත්, ඒ සඳහා කරුණු කිහිපයක් බලපා ඇති බවත් ඔහු සඳහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභය අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ සහ සංක්‍රාන්ති යන කාණ්ඩ හතරක් යටතේ ලබාදුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සංක්‍රාන්ති කාණ්ඩය සඳහා ගෙවීම් පසුගිය 2025 දෙසැම්බර් මාසයේදීත්, අවදානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදීත් අවසන් වූ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට රජය කටයුතු කරන බවත්, ඒ අතරතුර නැවත සමීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"මේ වැඩසටහන ආරම්භ කරන්නේ 2023දී. 2023 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 1,773,445යි. 2024 දෙසැම්බර් වෙනකොට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,761,116යි. 2025දී 2439,917යි. 2026 අගෝස්තු මස වෙනකොට 1,251,522යි. මේ වැඩසටහනේදී අඩු වීමට හේතුව වෙන්නේ වැඩසටහනේදීම තියෙනවා නැවත සමීක්ෂණයක්. ඒ අනුව තමයි පළවෙනි අදියරේදී සහ දෙවන අදියරේදී ලැබුණු අයදුම්පත්‍ර මේ වෙනකොට නැවත සහතික කරමින් තිබෙනවා. එය සැප්තැම්බර් මාසයේ අවසානයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 90%ක ප්‍රථිපලයක් ලැබිලා තියෙනවා. කාණ්ඩ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති කියලා කාණ්ඩ 4ක් තියෙනවා. වැඩසටහන ආරම්භ කරනකොටම තිබුණේ අන්ත දුප්පත් රුපියල් 15,000යි, දුප්පත් රුපියල් 8,500යි, අවදානමට ලක්වූ රුපියල් 5,000යි, සංක්‍රාන්ති 2,500යි වශයෙන්. අපි මේක වෙනස් කළා 2025-12-15 වැනිදා ගැසට් නිවේදනය මගින් ඒ අනුව රුපියල් 15,000 අන්ත දුප්පත් දීමනාව අපි 17,500ක් දක්වාත්, රුපියල් 8500 දීමනාව 10,000 දක්වාත්, රුපියල් 2500 දීමනාව 5000 දක්වාත් වැඩි කළා. මූලික වැඩසටහනට අනුව මේක අවසාන වෙන්න තිබුණේ සංක්‍රාන්ති එක 2024දි අවසන් වෙන්න තිබුණා නමුත් ඒක සංශෝධනය වෙලා අවසානයේදී 2025 දෙසැම්බර් ඒ කොටස අවසාන වෙලා තියෙනවා. අවදානමට ලක්වූ කොටස 2026 ජූනි අවසන් වෙලා තියෙනවා. මූලික වැඩසටහනට අනුව ඉතුරු කාණ්ඩ දෙක 2027 ජූනි වෙනකන් තියෙනවා. ඒ අතරදි තමයි නැවත සමීක්ෂණය සිදු කරලා එකතු වෙන ප්‍රමාණය බලන්න ඕනේ දැනට ලක්ෂ 12යි ගාණකට ඇවිත් තියෙනවා"

හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණෙයි

හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණෙයි

කොතලාවල රෝහලට අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති අරුණ හෙළිකරයි

කොතලාවල රෝහලට අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති අරුණ හෙළිකරයි