''සැම පුරවැසියෙකුටම පිරිසිදු පානිය ජලය ලබාදිම ජාතික අරමුණක් විය යුතුයි'' - ඇමති ක්‍රිෂාන්ත කියයි
ඉදිරි දශකය තුළ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ ස්වභාවිකව තිරසාර පානීය ජලය ලබාදීම රටේ උපායමාර්ගික ජාතික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව සංවිධානය කළ භූගත ජල කළමනාකරණයට අදාළ කලාපීය පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍යවරයා සඳහන් කළේ, උතුරු මැද පළාත ඇතුළු වියළි කලාපවල පවතින නිදන්ගත වකුගඩු රෝග (CKDu) ගැටලුව භූගත ජලයේ ගුණාත්මකභාවය සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බවට නිරීක්ෂණ පවතින බවයි.
අවදානම් ප්‍රදේශවල ප්‍රති ආසෘති (Reverse Osmosis - RO) ජල පිරිපහදු පද්ධති භාවිත කළද, එම ජලය දිගුකාලීනව පරිභෝජනය කිරීමේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක නිගමන නොමැති බැවින්, එය ස්ථිර විසඳුමක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු පැවසීය.
ජල සම්පත් කළමනාකරණයේදී සමස්ථානික තාක්ෂණය යොදා ගැනීම සහ කලාපීය තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ බවත්, දේශගුණික අභියෝග හමුවේ තිරසාර ජල සම්පත් කළමනාකරණයට එවැනි දැනුම් හුවමාරු ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.