මඩු සහ තලවිල දේවස්ථාන මංගල්‍යයට ක්ලීන් ශ්‍රී ලංකා විසින් විශේෂ සූදානමක්
2026 වාර්ෂික දේව මංගල්‍යයන් වෙනුවෙන් මඩු සහ තලවිල දේවස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ට වඩාත් සුරක්ෂිත හා පහසු පරිසරයක් සැලසීම සඳහා පහසුකම් වැඩිදියුණු කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධන බලකා රැස්වීමේදී පැවැත්විණි.
ඒ අනුව, ජූලි 26 සිට අගෝස්තු 6 දක්වා පැවැත්වෙන තලවිල ශුද්ධ වූ ආනා මුණිවරියගේ දේව මංගල්‍යය සහ අගෝස්තු 6 සිට 16 දක්වා පැවැත්වෙන ශුද්ධ වූ මඩු මාතා දේව මංගල්‍යය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව එම දේවස්ථාන පරිශ්රවලදීද සාකච්ඡා කර තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශාල බැතිමතුන් පිරිසගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
ඒ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, ජලභීතිකා රෝගය පාලනය කිරීම ඇතුළු මහජන සෞඛ්‍යයට අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එමෙන්ම ඒකාබද්ධ ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම, ජනතාව දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කිරීම, මාර්ග බාධක සහිත ස්ථානවල නියාමන කුටි පිහිටුවීම, කසළ කළමනාකරණය, ආහාර හා පානවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ මහජන සබඳතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට මඩු දේවස්ථානයේ පාලක පියතුමා, තලවිල ශුද්ධ වූ ආනා දේවස්ථානයේ පාලක ලහිරු ක්‍රිෂාන් පියතුමා, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරුන් වන කපිල සෙනරත් මහතා සහ එච්. පී. එස්. ශාන්ත මහතා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන නිලධාරීහු ද සහභාගී වූහ.