CID ගිය හඳුන්ගේ කටින්ම හඬ පටේ ඇත්ත නැත්ත [VIDEO]
කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන මඩ ගැසීමේ සහ චරිත ඝාතන ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. අනතුරුව ඔහු මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයින් දැන් පාර්ලිමේන්තු යනවා වෙනුවට යූටියුබ් යන බවයි.
ඔවුන් තමන්ගේම යූටියුබ් චැනල් කිහිපයක් සාදාගෙන තම චරිත ඝාතනය කිරීමට පටන් ගෙන ඇති බවත්, මෙය දැන් ක්‍රමයක් වී ඇති බවත් ඔහු සඳහන් කළා.
එසේම මෙය හරියට දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල හෝ දේශපාලන නාට්‍යවල මෙන් සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව ද ඇමතිවරයා පවසයි.
එහෙත් ඔවුන් හදන කතා පැය 24ක්වත් පණ නොමැති බවට ඔහු පෙන්වා දෙයි. එමෙන්ම අඳාළ මඩ ව්‍යාපාරය ආරම්භ වූයේ තමා "කන්ටේනර් 323ක කාරණාවකට සම්බන්ධයි" යන චෝදනාව පදනම් කරගෙන බව ද ඇමතිවරයා පැහැදිලි කර ඇත.
මීට හේතු වූ කතාව නම්, වරායට ගෙනැවිත් තිබූ සහල් කන්ටේනර් පහක් නිදහස් කරගැනීමට නොහැකි වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම බව ඔහු කියයි.
අඳාළ පුද්ගලයා ඉල්ලා ඇත්තේ එම හාල් කන්ටේනර් නිදහස් කරගැනීමට නොහැකි බැවින් රජයේ භාරයට ගෙන නොමිලේ ජනතාවට බෙදා දෙන ලෙසයි.
එහෙත් තමා මේ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් තොරතුරු තහවුරු කරගෙන පැහැදිලි කිරීමක් කළ බව ඇමතිවරයා ප්‍රකාශ කළා.
එම කන්ටේනර් ආනයන බලපත්‍ර නොමැතිව ගෙනා ඒවා නොවන හෙයින්, ඒවා රාජ්‍ය සන්තක කිරීමට සිදුවන බව ඔහු එම පුද්ගලයාට පැහැදිලි කර දී තිබෙන බව සඳහන්.
එසේ නොමිලේ බෙදා දෙනවා වුවද, ඩැමරේජ් සහ රේගු ගාස්තු ලෙස මිලියන 8.4ක් ගෙවීමට සිදුවන බව ද ඔහු පැහැදිලි කර ඇත.
එහෙත් මෙම පුද්ගලයාට හාල් නිදහස් කරගැනීමට නොහැකි වීම නිසා, ඔහු එය හිතාමතාම යූටියුබ් වෙත දුන්නා දැයි පරීක්ෂා කළ යුතු බව ඇමතිවරයා සඳහන් කරයි.
එමෙන්ම එම පුද්ගලයා එක්සත් ජාතින්ගේ සංවිධානයක නමක් සහිත ලෙටර්හෙඩ් එකක් පාවිච්චි කර ඇති බැවින්, එය නීත්‍යානුකූල දැයි පරීක්ෂා කළ යුතු බවත් ඔහු පැමිණිල්ලට එක් කර ඇත.
එමෙන්ම ඇමතිවරයා චෝදනා කරන්නේ, තොරතුරු ව්‍යාජ ආකාරයට සකස් කර, තමන්ගේ හඬපට විකෘති කර, සමාජ මාධ්‍යවලට මුදා හැර ඇමතිවරයෙකු සහ මහජන නියෝජිතයෙකු ලෙස තමන්ට චරිත ඝාතනයක් සිදුකර තිබෙන බවයි.
එමෙන්ම හාල් ගෙනා පුද්ගලයා පිළිබඳව, තොරතුරු විකෘති කර සමාජ මාධ්‍යවලට දැමූ අය සම්බන්ධයෙන් සහ මේ හරහා තමන්ට සිදුවූ හානිය පිළිබඳව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නතර නොවී අපහස නඩුවක් දක්වාම යන බවට ද ඇමතිවරයා සහතික වී ඇත.
මේ අනුව ඔහු බලාපොරොත්තු වන්නේ අදාළ පුද්ගලයින් ඉක්මනින් කැඳවා පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති බවයි.
මේ අතර ඇමතිවරයා පෙන්වා දෙන්නේ, තමන් අයවැය කාලයේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු අවස්ථාවක සහ ආයතන ගණනාවක වැඩ කටයුතු කළ යුතු අවස්ථාවක, මේ ආකාරයෙන් සී.අයි.ඩී. පැමිණිලි කිරීමට සහ නැවත තොරතුරු දීමට පැමිණීමට සිදුවීම කණගාටුදායක බවයි.
මෙය තම ගමනට “කකුලෙන් අදින සැළැස්මක්” බවත්, චරිත ඝාතනය කර තමන්ව වට්ටන්න උත්සාහ කරන ක්‍රියාවක් බවත් ඔහු අවධාරණය කර ඇත.
කෙසේ වුවද මඩ ගසා හෝ අවලාද නගා තමන්ව වැට්ටිය නොහැකි බවට ඉතිහාසය සාක්ෂි දරන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම විරුද්ධ පාර්ශ්වයන්ට ඇමතිවරයා මීට වඩා හොඳින් සාධාරණ විදියට දේශපාලනය කරන ලෙස කියා සිටියා.
තම සැබෑ අඩුපාඩු සොයා විවේචනය කිරීම ගැටලුවක් නොවන බවත්, එවිට තමන් ඒවා හදාගන්නා බවත් ඔහු සඳහන් කළා.
එසේ වුවත් මෙවැනි හිතාමතා සැලසුම් කර හඬ විකෘති කර මඩ ගහන ව්‍යාපාරවලින් වැළකී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියා.