Online ව්‍යාපාර කරන්නන්ට ඉස්සරහට මේකයි වෙන්නේ - අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ව්‍යාපාර නිසි ලෙස නියාමනයට ලක්කළ යුතු බවයි.
ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ නව වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තර්ජාල වෙළෙඳපොළ හරහා සිදුකෙරෙන ඇතැම් ව්‍යාපාර නිසි පරිදි ලියාපදිංචි නොවීම සහ බදු නොගෙවීම නිසා, නීත්‍යනුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.
පසුගිය කාලයේ මෙවැනි අවධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් මිලියන 780ක් වැනි විශාල මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණයවී ඇති බව පෙන්වා දුන් ඔහු පවසා සිටියේ දැනට ලියාපදිංචිවී ඇති ව්‍යාපාර ප්‍රමාණය 65,000ක් පමණ යැයි උපකල්පනය කළ හැකි වුවත්, ඇතැම් විශාල සමාගම් සතු නියෝජිතයන් සහ බෙදාහරින්නන් ප්‍රමාණය ලක්ෂ දෙකකට වඩා අධික බවය.
ඔහු පෙන්වා දෙන්නේ ගම්බද කුඩා සිල්ලර වෙළෙඳසලේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් නිසි පරිදි ලියාපදිංචි වී නොමැති බවයි.