මැදපෙරදිග යුද්ධයේ දරුණුතම බැටය ලංකාවට, ඇෆ්ගනිස්තානයට සහ සෝමාලියාවට - ලෝක ආහාර වැඩසටහනෙන් භයානක අනාවරණයක්
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් ඇතිවූ ගෝලීය ආර්ථික බලපෑම් මත ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (UN World Food Programme - WFP) පවසයි.
නවතම විශ්ලේෂණ වාර්තාවක් උපුටා දක්වමින් එම වැඩසටහන සඳහන් කරන්නේ, මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාවගේ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙම විශ්ලේෂණයට අනුව, ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානයහි ආහාර අනාරක්ෂිත ජනගහනය මිලියන 2.3කින්ද, සෝමාලියාවහි එම සංඛ්‍යාව මිලියන 2.5කින්ද ඉහළ ගොස් තිබේ.

ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, ගෝලීය බලශක්ති මිල ඉහළ යාම සහ ආහාර මිල අතර ඇති දැඩි සම්බන්ධතාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. දුප්පත් රටවල ජනතාව තම ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වැය කරන බැවින්, මිල ඉහළ යාමත් සමඟ ඔවුන්ගේ ආහාර පරිභෝජනය සීමා වීම ඉහළ ගොස් ඇති බවද එහි සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වැඩබලන විධායක අධ්යක්ෂ කාල් ස්කාව් පවසන්නේ, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ආහාර හා ඉන්ධන මිල ඉහළ යාමත්, වෙළෙඳ සැපයුම් බිඳවැටීම්ත් මෙම ගෝලීය අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බවයි.
වාර්තාවට අනුව, ජූනි මාසය අවසන් වන විට ලොව පුරා මිලියන 45ක පමණ ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක සිටින අතර, දැනටමත් ආධාර කප්පාදුවලට මුහුණ දී සිටින එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ආයතනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කඩිනම් සහාය ඉල්ලා සිටී.