ඉන්දියාවේ රොකට් දියත් කිරීම් ගැන අලුත් අනාවරණයක් - කිලෝවක් අභ්‍යවකාශයට රැගෙන යන්න වැයවන මුදල ඇහුවොත් පුදුමයි

Report

ඉන්දියාවේ අභ්‍යවකාශ දියත් කිරීම් සඳහා වැයවන පිරිවැය ලොව ප්‍රධාන අභ්‍යවකාශ බලවතුන් අතර ඉහළම මට්ටමක පවතින බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සහ ඉතාලියේ පොලිටෙක්නිකෝ ඩි ටොරිනෝ ආයතනයේ පර්යේෂකයන් සිදුකළ නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

අධ්‍යයනයට අනුව, 2025 වසරේ අඩු පෘථිවි කක්ෂයට කිලෝග්‍රෑම් එකක බරක් රැගෙන යාම සඳහා ඉන්දියාවට සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 13,302ක පමණ පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එම අගය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර් 3,225ක්, ජපානයේ ඩොලර් 5,287ක්, චීනයේ ඩොලර් 5,809ක්, රුසියාවේ ඩොලර් 6,682ක් සහ යුරෝපයේ ඩොලර් 9,897ක් ලෙස වාර්තා වී තිබේ.

ලෝකයේ සාමාන්‍ය අගය ඩොලර් 3,868ක් ලෙස අධ්‍යයනයේ සඳහන් වේ. 1960 සිට 2025 දක්වා සිදුකළ රොකට් දියත් කිරීම් 6,740කට වැඩි ප්‍රමාණයක් ඇසුරින් දත්ත විශ්ලේෂණය කර මෙම අධ්‍යයනය සිදුකර ඇත.

යකඩ ලෝපස් ටොන් 1,700ක් පටවාගත් නෞකාවක් බෙංගාල බොක්කේ ගිලී යයි- 22 දෙන්නෙක් තවමත් අතුරුදන්

යකඩ ලෝපස් ටොන් 1,700ක් පටවාගත් නෞකාවක් බෙංගාල බොක්කේ ගිලී යයි- 22 දෙන්නෙක් තවමත් අතුරුදන්

කෙසේ වෙතත්, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙහිදී කිලෝග්‍රෑමයකට වැයවන පිරිවැය පමණක් සලකා බැලීමෙන් ඉන්දියාවේ සමස්ත අභ්‍යවකාශ වැඩසටහනේ පිරිවැය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබාගත නොහැකි බවයි.

ඉන්දීය රොකට් සාමාන්‍යයෙන් සාපේක්ෂව අඩු බරක් රැගෙන යන බැවින් ස්ථාවර වියදම් අඩු කිලෝග්‍රෑම් ප්‍රමාණයකට බෙදී යාම මෙම ඉහළ අගයට හේතුවක් විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මේ අතර ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති ආචාර්ය වී. නාරායනන් මෙම අධ්‍යයනයේ නිගමන ප්‍රතික්ෂේප කරමින් එහි භාවිත කර ඇති දත්ත නිවැරදි නොවන බව පවසා තිබේ.

හිටපු ISRO සභාපති ආචාර්ය එස්. සෝමනාත් ද පෙන්වා දී ඇත්තේ කිලෝග්‍රෑමයකට වැයවන පිරිවැය පමණක් මත පදනම්ව රටවල් අතර දියත් කිරීමේ පිරිවැය සංසන්දනය කිරීම සුදුසු නොවන බවයි. විශේෂයෙන්ම ඇමෙරිකාවේ SpaceX සමාගම භාවිත කරන නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය සහ ඉහළ දියත් කිරීමේ වාර ගණන එරට අභ්‍යවකාශ දියත් කිරීම්වල පිරිවැය අඩු කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

ඉන්දියාවද නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අතර, එම තාක්ෂණය ඉදිරියේදී රටේ අභ්‍යවකාශ දියත් කිරීම්වල පිරිවැය අඩු කිරීම සඳහා වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ඉන්දියාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමේදී අඩු වියදම, වැඩි දියත් කිරීම් සහ නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය අතර සමබරතාවක් ඇති කිරීම ප්‍රධාන අභියෝගයක් බව මෙම අධ්‍යයනය මගින් අවධානයට ලක් කර තිබේ.

ලෝකයක් ආදරය කළ ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු යළි බන්ධනාගාරයට

ලෝකයක් ආදරය කළ ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු යළි බන්ධනාගාරයට