ශ්‍රී ලාංකිකයන්ට නරක ආරංචියක් - ඉස්සරහට මේවගේත් මිල වැඩිවීමක්?
ලෝක වෙළඳපොළේ ඖෂධ මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ දැනට පවතින ඖෂධ මිල පාලනය සංශෝධනය කරමින්, ඉදිරි කාලයේදී ඖෂධ මිල ඉහළ දැමීමට රජයේ අවධානය යොමු වී ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා ප්‍රකාශ කළේ, ආනයනකරුවන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා සලකා බලා ඇතැම් ඖෂධවල මිල සංශෝධනය කිරීම කෙරෙහි නියාමන අධිකාරියේ අවධානය යොමු වී තිබේ. ගෝලීය බලශක්ති සහ ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) පෙන්වා දී ඇත.
ඔවුන් පවසන පරිදි ඉන්ධන මිල 38% කින් පමණ ඉහළ ගොස් ඇති අතර නැව් ගාස්තු 40% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඇතැම් ඖෂධ අමුද්‍රව්‍යවල මිල ලෝක වෙළඳපොළේ 70% දක්වා ඉහළ ගොස් තිබේ. මිල සංශෝධනයක් සිදු නොකරන්නේ නම් රට තුළ බරපතල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා අනතුරු අඟවයි.
"මෙය දැන් හුදෙක් කර්මාන්තයේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි, මහජන සෞඛ්‍යයට සෘජුවම බලපාන ජාතික මට්ටමේ ගැටලුවක්. හදිසි පියවර නොගතහොත් ඖෂධ හිඟය පාලනය කළ නොහැකි මට්ටමට වර්ධනය විය හැකියි," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගෝලීය තත්ත්වය පාලනය කළ නොහැකි වුවද, රට තුළ ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව නියාමන අධිකාරිය පවසයි. ආනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ඖෂධ නියමිත වේලාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අතරතුර සාධාරණ මිල සංශෝධනයක් ලබා දීම කෙරෙහි සලකා බලන බවත් අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.