මාර්තුවේ සිට විෂ මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට නව නීතියක් එයි
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය තොග එම අවස්ථාවේදීම විනාශ කිරීමට හැකි නව නීති කෙටුම්පත ලබන මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට අද (25) උපදෙස් දුන්නේය.
“මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් වහාම එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂා කරවීම, රස පරීක්ෂකවරයා ලබාගෙන සාම්පලයක් ගෙන, ඉන් පසු ඉතිරි තොග වහාම විනාශ කිරීමට හැකි නීතිමය බලතල ලබාදෙන පරිදි නීති සකස් කළ යුතුයි” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට ද සමාජයේ විවිධ මත එකතු කරගෙන සියලු දෙනාට පිළිගත හැකි විද්‍යාත්මක වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් පැවසීය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමටත්, ස්ථිර හා තාවකාලික රස පරීක්ෂකයන් බඳවා ගැනීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා, දෙසැම්බර් 06 සහ 07 දෙදින තුළ සියලුම දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ‘ඉවත් වෙනු – රටම එකට’ ජන දැනුවත්කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
සියලුම රාජ්‍ය ආයතන විෂ මත්ද්‍රව්‍යවලින් තොර බවට සහතික කිරීමේ වගකීම ද රජයේ නිලධාරීන්ට පැවරූ ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නේය.
කුප්පියාවත්තේ බෝධානන්ද නාහිමි ඇතුළු හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ලේකම්වරුන්, වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් මෙම සැසියට සහභාගි වූහ.