මනූෂ නානායක්කාරට ඇප
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප නියම වී තිබේ.
අද (15) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ හමුවට පැමිණි අවස්ථාවේදී මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් පසුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙහිදී මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් රුපියල් මිලියන 50ක ශරීර ඇපයක් සහ වගඋත්තරකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 50ක රක්ෂණ ඇපයක් නියම කර ඇති බව වාර්තා වේ.