ලෝක ප්‍රකට විලාසිතා සන්නාමයක නිර්මාතෘගේ මරණයේ අභිරහස විසඳෙයි..ජාත්‍යන්තරය කළඹමින් කෝටිපති පුත්‍රයා අත්අඩංගුවට
ලෝක ප්‍රකට ස්පාඤ්ඤ විලාසිතා සන්නාමයක් වන "Mango" සමාගමේ නිර්මාතෘ බිලියනපති ඉසැක් ඇන්ඩික් (Isak Andic) ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ 45 හැවිරිදි පුත්‍රයා වන ජොනතන් ඇන්ඩික් (Jonathan Andic) කැටලෝනියානු කලාපීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආරම්භයේදී ස්වභාවික අනතුරක් බවට නිගමනය කර වසා දමා තිබූ මෙම මරණ පරීක්ෂණය, නව සාක්ෂි හමුවේ මිනීමැරුම් විමර්ශනයක් දක්වා පරිවර්තනය වීමත් සමඟ ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයක් යොමු විය.
ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සහ ඉහළම පෙළේ බහුජාතික ඇඟලුම් මෙන්ම විලාසිතා සන්නාමයක් වන "Mango"1984 වසරේදී ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවරින් ආරම්භ වී ඇත.
එය අද වන විට ලොව පුරා රටවල් 115 කට අධික සංඛ්‍යාවක ශාඛා 2,700 කට වඩා පවත්වාගෙන යයි. යුරෝ බිලියන ගණනක් වටිනා මෙම විලාසිතා අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා වූයේ 71 හැවිරිදි ඉසැක් ඇන්ඩික්.
කෙසේ වෙතත් ඔහු පසුගිය 2024 දෙසැම්බර් මාසයේදී ඔහුගේ පුත් ජොනතන් සමඟ ස්පාඤ්ඤයේ මොන්ට්සෙරාට් කඳුකර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි අතර එහිදී අඩි 300 කට වඩා උස ප්‍රපාතයකින් පහළට ඇද වැටීමෙන් ඉසැක් ඇන්ඩික් ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා විය.
එහිදී සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකරු වූයේ ඔහුගේ පුත් ජොනතන් පමණක් වූ අතර එය පය ලිස්සා යාමකින් සිදුවූ අවාසනාවන්ත අනතුරක් බවට ඔහු ලබාදුන් ප්‍රකාශය මත පදනම්ව, පොලිසිය මුල් සති කිහිපය තුළ විමර්ශන අවසන් කර නඩුව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
එහෙත් 2025 මාර්තු මාසයේදී මෙම සිදුවීම පිළිබඳව යළි විමර්ශන ආරම්භ කිරීමට ස්පාඤ්ඤ බලධාරීන් පියවර ගෙන තිබුණේ සැකකාර ජොනතන් ඇන්ඩික් විසින් අවස්ථා දෙකකදී පොලිසිය වෙත ලබා දුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර සහ සැකකටයුතු බව විමර්ශකයින් හඳුනා ගැනීමෙන් අනතුරුවයි.
මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි
ඒ අනුව විශේෂඥයින් පෙන්වා දුන්නේ ඔවුන් ගමන් කළ කඳුකර මාර්ගය සාමාන්‍යයෙන් අනතුරු සිදු නොවන, ගමන් කිරීමට ඉතා පහසු සහ ආරක්ෂිත මාර්ගයක් බවයි. මේ අතර මියගිය ඉසැක් ඇන්ඩික්ගේ සහකාරිය වන වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩිකා එස්ටෙෆානියා ක්නුත් ලබාදුන් සාක්ෂිවලට අනුව, ව්‍යාපාරයේ පාලනය සහ පෞද්ගලික හේතූන් මත මෙම පියා සහ පුතා අතර දැඩි නොසන්සුන්කාරී සබඳතාවක් පැවතුණු බව සඳහන්.
ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගනිමින් 2025 සැප්තැම්බර් මාසයේදී විමර්ශන විනිසුරුවරයා විසින් ජොනතන්ගේ නීතිමය තත්ත්වය "සාක්ෂිකරුවෙකුගේ" සිට "ප්‍රධාන සැකකරුවෙකු" දක්වා නිල ලෙස වෙනස් කිරීමට නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් දැනට Mango සමාගමේ උප සභාපති (Vice Chairman) ධුරය දරන ජොනතන් ඇන්ඩික් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාර්ටොරෙල් (Martorell) අධිකරණය වෙත ඉදිරිපත් කල බවට තොරතුරු සඳහන් වේ.
එමෙන්ම විමර්ශනවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්පාඤ්ඤ අධිකරණය විසින් මේ වන විට මෙම නඩුවට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීම තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද සැකකරුගේ නීතිඥයින් සහ පවුලේ පාර්ශවය අවධාරණය කරන්නේ ඔහු නිවැරදිකරු බවත්, විමර්ශන සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් ය.