මුළු ලංකාවටම ඉදිරි පැය 24 වෙන දේ ගැන අතිවිශේෂ දැනුම්දීමක් - මේ අයට විශේෂයි අවදානමෙන් සිටින්න යැයි ඉල්ලීමක්
දිවයින වටා පවතින අතිශය අයහපත් මෝසම් කාලගුණික තත්ත්වය සහ ඒ හේතුවෙන් සාගර කලාපය දරුණු ලෙස රළු වීම සැලකිල්ලට ගනිමින්, සමස්ත ධීවර ප්‍රජාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් විශේෂ හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති නවතම දත්ත විශ්ලේෂණයට අනුව කන්කසන්තුරය, යාපනය සහ මන්නාරම සිට කල්පිටිය දක්වා විහිදෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉතා ඉහළ මට්ටමකින් වැඩි විය හැකි අතර, ඊට සමගාමීව මුහුදු රළ ද අඩි ගණනාවක ඉහළ මට්ටමකට එසවීමේ මාරක අවදානමක් පවතින බව එම නිවේදනයේ පැහැදිලිවම සඳහන් වෙයි.
මෙම දරුණු තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරේ, යාපනය, මන්නාරම සහ පුත්තලම සිට කල්පිටිය දක්වා වූ මුහුදු තීරයන්හි වෙරළාසන්න රැකියාවල ධීවර කටයුතු සිදුකරන කුඩා යාත්‍රා මෙන්ම සාම්ප්‍රදායික ඔරු සහ යාත්‍රා හිමිකරුවන් සියලු දෙනාම, රජයෙන් නැවත දැනුම්දීමක් සිදුකරන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී දැඩිව අවධාරණය කර සිටියි.
මේ අතර, කල්පිටියේ සිට හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන දිගු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය සැළකි යුතු මට්ටමකින් වැඩිවීමේ සහ මුහුදු රළ රළු ස්වභාවයකින් ඉහළ යාමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම මුහුදු සීමාවන්හි රැකියාවල නිරතවන බහුදින සහ එක්දින ධීවරයින් මුහුදු යාමට පෙර දෛනිකව පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව මනා ලෙස සැලකිලිමත් විය යුතු අතර, සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව රැකියාව කළ හැකි යෝග්‍ය වාතාවරණයක් පවතී නම් පමණක් ධීවර කටයුතුවල නිරත වන ලෙසත්, යම් හෙයකින් අවදානම් අවස්ථාවක් මතු වුවහොත් වහාම රැකියාවෙන් බැහැර වී වෙරළට ළඟා වන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවරයින්ට දැනුම් දී සිටියි.