මහින්දානන්ද, නලින් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් කල් යයි
පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිරදඬුවම් හිමිව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද(04) නියම කළේය.
නඩුව විනිසුරු මංජුල තිලකරත්න හමුවේ කැඳවූ අතර, මහින්දානන්ද සහ නලින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහෙත්, නන්ද මල්ලවාරච්චි අසනීපයෙන් පසුවන බවට ඔහුගේ නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්, නඩුවේ මාධ්‍ය ප්‍රචාරය හේතුවෙන් විත්තිකරුගේ පවුලට අපහසුතාවක් ඇති වන බව පවසමින්, සාක්ෂි විභාගය ආරම්භ වන තුරු විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීය. එහෙත්, විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, විත්තිකරුවන් සෑම නඩු දිනයකදීම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පැවසීය.
විත්තියේ මූලික විරෝධතා ඔක්තෝබර් 10 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
2015 ජනාධිපතිවරණයේදී, සතොස හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී, නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.