දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු මිල සීඝ්රයෙන් ඉහළට
දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු වගාවලට සිදුවූ බරපතල හානිය නිසා වෙළඳපොළේ පහතරට එළවළු මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසති.
පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවළු වර්ග රැසක් මේ වන විට කිලෝග්‍රෑමයක් රුපියල් 400-500 අතර සිල්ලර මිලකට අලෙවි වෙමින් තිබේ. බටු කිලෝග්‍රෑමයක් රුපියල් 650ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කැරට්, ගෝවා, බීට්, රාබු, ලීක්ස් වැනි උඩරට එළවළු වර්ග රුපියල් 300-350 අතර මිලකට අලෙවි වෙද්දී, මාලු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1300ක් ද, බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1000ක් දක්වා ඉහළ මිලකට වෙළඳපොළට පැමිණ තිබේ.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ (18) දින එළවළු කිලෝග්‍රෑම් 91,510ක ඉල්ලුමක් ලැබුණු බවත්, එම ඉල්ලුමට සරිලන ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවත් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු පැවසීය.
උඩරට එළවළු ගොවීන් සතුව ප්‍රමාණවත් අස්වැන්නක් තිබෙන නිසා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට හැකිවීමෙන් උඩරට එළවළු මිල තවදුරටත් ඉහළ නොයන බවද එම නිළධාරියා අවධාරණය කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු වගාවන්ට සිදුවූ විනාශය නිසා මෙම මිල ඉහළයාම තවදුරටත් පවතිනු ඇති බව වෙළෙඳුන්ගේ අදහසයි.