මධ්‍යම බෙංගාල බොක්කේ අඩු පීඩනය දුර්වල වෙයි-කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන්, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නැගෙනහිර දිශාවට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදාල මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇති බවද අනාවරණය කරයි.
ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවරයින් සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටියි.