දේශගුණික අර්බුද සහ මැතිවරණ පාලනය ගැන ලන්ඩනයේදී ගත් හදිසි තීන්දු
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 21 දින ලන්ඩන් නුවර මාල්බරෝ මන්දිරයේදී Commonwealth of Nations මහලේකම් ෂර්ලි අයෝර්කෝර් බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින අතරතුර මෙම හමුව සිදුව ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන සහභාගීත්වය සහ සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහයෝගය යන කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට කෘතඥතාව පළ කළ අතර, රටේ තිරසාර සංවර්ධනය සහ ඇතුළත් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීමද යළි තහවුරු කර තිබේ.
තාක්ෂණික සහාය, මානව සම්පත් සංවර්ධනය, දේශගුණික මූල්‍යකරණය සහ මැතිවරණ පාලනය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බව මහලේකම්වරිය මෙහිදී අවධාරණය කළාය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාදීර මහතා සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.