අතුරුදන් කළ පුංචි ඡන්දය අත ළඟට එයි! නාමයෝජනා කැඳවීම දෙසතියකින්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කළ බව නිවේදනය කරයි.
මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම 2025 මාර්තු මස 03 වන දින සිට මාර්තු 19 වන දින මධ්‍යහන 12.00 දක්වාද (මෙම කාලය අතරතුර එළඹෙන 2025 මාර්තු 13 පෝය දින 2025 මාර්තු 8,9,15 හා 16 යන සෙනසුරාදා හා ඉරිදා දින වල හැර)නාම යෝජනා භාර ගැනීම මාර්තු 17 දින සිට මාර්තු 19 දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සහ මාර්තු 20 දින මධ්‍යහන 12.00 දක්වාද ඒ ඒ තේරීම් භාර නිලධාරී ,දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලදී සිදු කරන බව නිවේදනය කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය.
එමෙන්ම, පසුගිය 23 දා ජනාධිපතිවරයා මහනුවරදී ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් රජය වෙන් කර ඇති බවයි.
මේ අනුව පළාත් පාලන ආයතන 336ක,(අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව,මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව,කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනකාරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) එනම් මහනගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 272ක් සඳහා නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයන් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වීමට නියමිත වේ.
