බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

Report

ඉන්ධන බෙදුම්කරුවන්ට දෙන 3% වට්ටම් මුදල ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බැවින් මින් ඉදිරියට බැංකු කාඩ්පත්, ක්‍රෙඩිට් කාට්පත් මගින් මුදල් ගෙවීමෙන් ඉන්ධන ගැනීම සිදුකිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීමට නොහැකි බව ඛනිජතෙල් බෙදුම්කරුවෝ කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ සියලුම වාණිජ තෙල් බෙදුම්කරුවන් එක් වී කොළඹ දී පසුගිය සිකුරාදා (28 වැනිදා) සාකච්ඡාවක් පැවැත් වූ බවත්, ඉන්පසු මෙම තීරණයට එළඹුණු බවත්ය. 3% ක වට්ටමේ මුදල ප්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයාටද අවස්ථා හතරකදී ලිපි යොමු කරමින් පැවසුවත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව බෙදුම්කරුවෝ කියා සිටිති.

දළදා ප්‍රදර්ශනයට දින නියම කරයි

දළදා ප්‍රදර්ශනයට දින නියම කරයි

එමෙන්ම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සියල්ලන්ම මේ වන විට එකඟතාවකට පැමිණ ඇත්තේ කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ වෙනත් ආයතනවලට ණයට ඉන්ධන නොදීමටය.

එම ආයතනවලට මින් ඉදිරියට ඉන්ධන දෙන්නේ එම මොහොතේම මුදල් ගෙවීමක් කරන්නේ නම් පමණක් යැයි බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ සියයට තුනක වට්ටම් මුදලෙන් කළ හැකි කාර්යයන් පමණක් මින් ඉදිරියට කරන බවත්, පිරවුම්හල්වල සේවකයන් ද සිය රාජකාරි කටයුතු කරන්නේ තමන්ට පැවරී ඇති කාල සීමාව තුළ පමණක් බවත්ය. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන 3% වට්ටම් මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, එම මුදල ද අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී පිරවුම්හල් වසා දැමීමට සිදුවිය හැකි බවත්, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

මෙරට ඉන්ධන පිරවුම්හල් 1400 ක් ඇති බවත්, එම පිරවුම්හල් අතරින් පිරවුම්හල් 700 ක් පමණ ඉන්ධන වෙළෙඳාම සිදුවන්නේ ඉතාම අඩුවෙන් බවත් එම සංගමය පෙන්වා දෙයි.