බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් පත්කරන ලෙස දැනුම්දෙන බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයගත් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට ඒ පිළිබඳ දැනුම්දීම සිදුකරන බවයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) නිකුත් වූ අතර, එහිදී ජාතික ජන බලවේගය බොහෝ පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් විය.
සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද වෙනත් පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගෙන තිබේ.
නමුත්, බොහෝ පළාත් පාලන ආයතනවල සියයට 50කට වැඩි බහුතරයකින් ජයග්‍රහණය කිරීමට මෙම පක්ෂවලට හැකිවී නැත. මේ අතර, කොට්ඨාශ මට්ටමින් තේරී පත්වූ පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන සඳහා පත්කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කොට්ඨාශ මට්ටමින් තේරී පත්ව ඇති කාන්තා නියෝජනයන් අධ්‍යයනය කිරීමෙන් පසු, පත්කළ යුතු කාන්තා නියෝජිතයින් පිළිබඳ දැනුම්දීම සිදුකිරීමට නියමිතය.
