බිහිසුණු ගුවන් අනතුරකින් ලිබියානු යුද හමුදාපති ඇතුළු යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට - ශෝක කාලයක්
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරට ලක්වන අවස්ථාවේදී හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් සිට ඇත.
එම අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් ඇති බව වාර්තා වේ.
එසේම අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා ඇති බව සඳහන්.
එහෙත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇත. මේ අතර සිදුවීම සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධව වන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා හමුදාපතිවරයා තුර්කිය වෙත පැමිණ ඇති බව පවසයි.
මේ අතර අල් හඩාඩ්ගේ අභාවය සම්බන්ධව තෙදින ශෝක කාලයක් නම් කළ ලිබියානු රජය ඔහුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් වශයෙන් නම් කර තිබෙනවා.