චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැවැන්තයකුගේ නමට හදන්න ගිය කෞතුකාගාරයක් අතරමග - අනුමැතියකින් තොරව කෝටි දහයක ගෙවීම්
චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමට චිත්‍රපටි සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපනය කිරීමට මුදල් වෙන්කර ඇතත් එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
ඒ අනුව කෞතුකාගාරය ඉදිකිරීමට, ඉදිකිරීම් සහ උපදේශනාත්මක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදී 2019 වර්ෂයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක්ද නාගරික සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව ගෙවීම් කර තිබුණු බවත් අඳාළ වාර්තාවේ සඳහන්.
මේ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීද (කෝප් කමිටුව) සාකච්ඡා විය.
එමෙන්ම ජාතික චිත්‍රපටි සංස්ථාව චිත්‍රපටි නිෂ්පාදනයට සහ සිනමා ශාලාවලට දී ඇති ණය මුදල්වලින් සහ හිඟ මුදල්වලින් රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් මෙතෙක් අය කරගෙන නොමැති බව ද වාර්තා වේ.
තවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම හිඟ මුදල වසර විසිපහකට අධික කාලයක් තිස්සේ අය කරගෙන නොමැතිව පවතින බවයි.
ඊට අමතරව චිත්‍රපටිය ආනයනය බෙදා හැරීම සහ ලියාපදිංචිය විධිමත් කිරීමට අඳාළ පරිගණක පද්ධතිය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ප්‍රතිපාදනයක් යටතේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබුණද ඉකුත් වසරේ මැයි මස 30 වන දින වන විටද එම පද්ධතිය ස්ථාපනය කර නොතිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම පරිගණක පද්ධතිය ස්ථාපනය කර නොතිබුණද රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් ඒ වනවිටත් ගෙවීම් කර තිබුණු බව විමර්ශන වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේ සඳහන්.