පොලිසියට යන්න නියමිත ඇඳුමක් ඕනේද? - නීතිඥවරියකගෙන් විශේෂ පැහැදිලි කිරීමක්
පොලිස් ස්ථානයකට යාමේදී සැරසී යා යුතු ආකාරය පිළිබඳව එදිනෙදා සමාජයේ විවිධ අදහස් හා මතවාද රාශියක් දක්නට ලැබේ. යූටියුබ් නාලිකාවක වැඩසටහනකදී පොලිස් ස්ථානයකට යාමේදී සැරසී යා යුතු ආකාරය පිළිබඳව කතිකාවක් නිර්මාණය වූ අතර, නීතිඥ රොෂෙල් ආරියවංශ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එහිදී ඇය ප්‍රකාශ කළේ පොලිස් ස්ථානයකට යාම සඳහා නිශ්චිත ඇඳුමක් පිළිබඳව නීතියෙන් නියම කර නොමැති බවයි. නීතිඥවරිය පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කාලයෙන් කාලයට විවිධ පොලිස් ස්ථාන මඟින් තමන්ට ආවේණික වූ නීති හා ක්‍රමවේද හඳුන්වා දී තිබුණද, නීතියේ කිසිදු අවස්ථාවක පොලිස් ස්ථානයකට යා යුතු නිශ්චිත වේලාවක් හෝ ඒ සඳහා පැළඳිය යුතු නිශ්චිත ඇඳුමක් පිළිබඳව සඳහන් කර නොමැති බවයි.
තමන්ට යම් අගතියක් සිදුවූ වහාම හැකිතාක් ඉක්මනින් පොලිස් ස්ථානයට යා යුතු බවත්, එහිදී පැළඳ සිටින ඇඳුම අදාළ නොවන බවත් ඇය ප්‍රකාශ කළාය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ රොෂෙල් ආරියවංශ මහත්මිය මෙසේ පැවසුවාය.
“ මෑත කාලයේ නීතිඥවරයෙකුට බලවත් අසාධාරණයක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ ඉල්ලීම ගිහිල්ලා, අන්තිමට නීතිඥවරයාට සහනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්නා. ආයිතිවාසිකම් කඩවෙලා තියෙනවා කියලා තීරණය කළා. මොකද, ඒ අවස්ථාවේ වෙලා තිබ්බේ ඒ නීතිඥවරයා තමන්ගේ තවත් නීතිඥවරියක් සමග තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඉතාම කඩිනමින් අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා තිබ්බා. ඒ පොලිස් ස්ථානයට තමන්ගේ සේවාදායකයා දැනුවත් කළ වහාම ගිහිල්ලා තිබ්බේ මේ අර නීතිඥයෙක් අදින පළඳින ඇඳුමෙන්, සාරි ඇඳලා, කෝට් ඇඳලා එහෙම නෙමෙයි. එහෙම ගියේ නැහැ කියන පදනම මත ඔහුට ඒ අදාළ ගෞරවය, ගෞරවයක් අපේක්ෂාවෙන් නෙමෙයි, අපේක්ෂාවෙන් නෙමෙයි, සැලකීම නීතිඥවරයෙක් වශයෙන් ඉදිරිපත් වෙනවායි කියන අවම සැලකිල්ල දීලා තිබ්බේ නැහැ. එතකොට එතනදී ඔහු තර්ජනයට පීඩනයට ලක්වෙලා, ‘ඔය විදිහට එන්න බැහැ, මෙහෙම, අරෙහෙමයි’ කියලා යම් යම් අඩන්තේට්ටම් කරලා තිබ්බා. ඉතින් මේ කරුණ පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් යොමු කරලා, ඉන් පස්සේ පොලිස් ස්ථානවලට ගයිඩ් ලයින් (Guideline) එකක් දුන්නා. කිසිම අවස්ථාවක නීතිඥවරයෙක්ට මොනයම් විදියකින්වත් කරන්න බැහැ කියලා.”
[