කුප්පි ලාම්පු එළියෙන් අයිස් ගැසූ නීතිඥයෙක් පොලිසියට මාට්ටු
කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලකදී, කුප්පි ලාම්පුවක් තබා 'අයිස්' මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගෙන සිටි අවස්ථාවේ, නීතිඥවරයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, මත්ද්‍රව්‍ය පානය සඳහා සකස් කළ වීදුරු කැබැල්ලක්, සහ රුපියල් 20ක නෝට්ටුවක් භාරයට ගත් බව සඳහන් වේ.
ඔහුගේ නීතිඥ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී, 1996 වසරේ නීතිඥ වෘත්තියට පිවිස, කොළඹ අලුත්කඩේ දිසා අධිකරණය සහ මහාධිකරණයේ නීති කටයුතුවල නිරත වූ නීතිඥවරයා බවද තහවුරු වී ඇත.
කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.වී.ඩී.පී. අනුරුද්ධ ඇතුළු කණ්ඩායමට ලැබුණු රහස් තොරතුරක් මත මෙම වැටලීම සිදුකර, පාළු ගොඩනැගිල්ල පරීක්ෂා කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා කුප්පි ලාම්පු එළිය යටතේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බව වාර්තා විය.
අත්අඩංගුවට ගත් නීතිඥවරයා සහ ලියාපදිංචි අපරාධකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්තගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ, පොලිස් සැරයන් බණ්ඩාර (64263) සහ කොස්තාපල් රත්නායක (106566) යන නිලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙයවන බව පොලිසිය සඳහන් කරයි.