''ජාතිවාදය හා ආගම්වාදය පතුරුවා ආණ්ඩුව පෙරළීමට පිරිසක් උත්සාහ කරනවා'' - ලාල්කාන්තගෙන් දැඩි ප්රකාශයක්
රට තුළ ජාතිවාදය හා ආගම්වාදය පතුරුවමින් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්රකාශ කළේය.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පසුගිය කාලයේ සිදුකළ බව කියන හොරකම්, වංචා, දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වීම වැළැක්වීම බවද අමාත්යවරයා සඳහන් කළේය.
“සතුරන්ට බලන් ඉන්න බැහැ. එක්කෝ ජාතිවාදයක් ඇදලා ගන්න බලනවා. ජාතිවාදය ඔළුව උස්සන්න දෙන එක මුළුමනින්ම නතර කරලා තියෙන්නේ. උස්සන්න දෙන්නෙම නැහැ. ඔයගොල්ලොත් ඒකට ඉඩ දෙන්න එපා. ඒවා මතු කරන්නේ හාමුදුරුවරු වෙන්න පුළුවන්, ගිහියෝ වෙන්න පුළුවන්. ආගමික ගැටුම් ඇති කරන්න උත්සාහ කරන අය කවුරු වුණත්, ඒවා මතු කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඕනේ කියලා න්යාය පත්ර හදාගත්තු පිරිසක් ඉන්න නිසයි. ඒ පිරිස විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයට, විවිධ කුමන්ත්රණකාරී ක්රමවලින් ජාතිවාදය, ආගම්වාදය සහ බොරු මත පතුරුවලා මේ යන වැඩපිළිවෙළ නවත්වගන්න උත්සාහ කරනවා. එගොල්ලන්ට බලවත්ම ප්රශ්නය වෙලා තියෙන්නේ දේශපාලන නායකයෝ. එගොල්ලන්ගේ නායකයෝ පහුගිය කාලේ කරපු හොරකම්, වංචා, දූෂණ, නාස්ති සහ අපරාධවලට දැන් හිරේ යන්න පටන් අරන් තියෙනවා. කවදාවත් කවුරුත් හිතපු නැති විදිහට ඒ දේවල් සිදුවෙනවා. ඒක නතර කරගන්න තමයි එක එක ව්යාපෘති ඇදලා එළියට ගන්නේ. ඒක නතර කරගන්න, මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එළියේ නටන ගොඩක් අයගේ නායකයන්ට දැන් ප්රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ පහුගිය කාලයේ කරපු අපරාධ නිසයි. සමහර ඒවා මිනීමැරුම්. සමහර ඒවා රාජ්ය දේපළ කොල්ලකෑම්. සමහර ඒවා ඉඩම් කොල්ලකෑම්. තවත් විවිධ දේවල් තියෙනවා. එහෙම නම් දැන් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ඕනේ. ඒක නවත්වන්න ඕනේ. ආණ්ඩුව පෙරළන්න ඕනේ. පුළුවන් ඉක්මනින් තමන්ගේ හාම්පුතාලා, තමන්ට කන්න දීපු එවුන් ටික බේරගන්න ඕනේ. පහළ සමහර මට්ටම්වල අය එළියට බහිනවා. තමන්ව නඩත්තු කරපු හාම්පුතාලා ඇතුළට යනවා බලන් ඉන්න බැරුව.”