විපක්ෂ නායක සජිත්ට වඩා නාමල්ට තමා සුදුසුයි - ඇමති ලාල්කාන්තගේ නිගමනය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වුවත්, ඊට වඩා විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මැදිහත් වෙන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
නාමිකව නොවෙයි, සැබෑ ලෙස එකතුවී පෙන්වන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.'
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වූ අලුත් වැස්ස සංස්කෘතික මංගල්‍යයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලාල්කාන්ත ඇමතිවරයා මෙසේ පැවසුවේය;
“ආණ්ඩුව වැඩ අනාගන්නකල් තමයි විපක්ෂය බලාගෙන ඉන්නේ. මේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව විපක්ෂය කියන එක පාලනයකට සහය දෙන්නේ නැහැ. ඒ අයට ඕනේ ආණ්ඩුව අසාර්ථකයි කියලා මතයක් හදලා පාලනය ඩැහැගන්නයි. මේ රටේ හරිහමන් විපක්ෂයක් නොමැතිවීම තමයි අපිට තිබෙන කණගාටුව. ආණ්ඩුවට එරෙහිව පුළුවන් නම් එකතුවෙලා පෙන්වන්න කියලා විපක්ෂයට අභියෝග කරන්න කැමතියි.”
“මේ අයට කවදාවත් එකතුවෙන්න බැහැ. එකතුවන විපක්ෂයේ නායකයා වෙන්න බල අරගලයක් තිබෙනවා. සජිත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වුණාට සමාජය ඔහුව විපක්ෂ නායකයා ලෙස පිළිගන්නේ නැහැ. ඊට වඩා නායකත්වය මැදිහත්වීමක් නාමල් කරනවා. එහෙත් විපක්ෂ නායක භූමිකාව සම්පූර්ණ කරගෙන ඉදිරිගමනක් යන්න නාමල් පුළුවන්කමක් නැහැ.
ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඔවුන්ට එරෙහිව නැගී සිටිනවා. ඒවා ඔවුන්ට මේ රටේ ජනතාව හෝ පක්ෂ විසින් කරපු දේවල් නෙවෙයි. නාමල්ලා දැන් වැටිලා ඉන්නේ ඒ අයම කපාගත්ත වළවල්වලටයි.” “විපක්ෂයේ නායකයා වෙන්න දයාසිරිත් උත්සාහ කරන බව පේනවා. හරිහමන් නායකයෙක් නැතිවුණාම නායකයා වෙන්න හැමෝම උත්සාහ කරනවා. විපක්ෂයේ එකතුවීම සමාජයට පේන්න කරන දෙයක් විතරයි. සැබෑ ලෙස ඔවුන්ට කවදාවත් එකතුවෙන්න බැහැ.”
“පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ජාතික ජනබලවේගයට තිබෙනවා. පළාත් පාලන ආයතන අතිබහුතරයක බලය අපට තිබෙනවා. විධායක ජනාධිපති ධූරයත් තබාගෙන හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කරන්න කටයුතු කරනවා. මේ අපි සිදුකරමින් ඉන්නේ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල්. දැන් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් තිබෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරන විපක්ෂයක් නොමැතිවීමේ අඩුව තමයි තිබෙන්නේ. මේ විපක්ෂය අපිට කිසිම අභියෝගයක් නැහැ. ඔවුන් සැබෑ ලෙස ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පටන්ගත්තොත් තමයි අපිට අභියෝගයක් වෙන්නේ.”