කම්කරු අමාත්‍යාංශයේ නව නිල වෙබ් අඩවිය එළිදැක්වීමත් සමඟ EPF පිළිබඳවත් විශේෂ දැනුම්දීමක්
වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සේවාවන් සමීප කිරීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසකින් සමන්විත කම්කරු අමාත්‍යාංශයේ නව නිල වෙබ් අඩවිය එළිදක්වා තිබේ.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට අමාත්‍යාංශය වෙත පැමිණීමකින් තොරව අවශ්‍ය සේවාවන් රැසක් මාර්ගගතව ලබාගැනීමට අවස්ථාව සැලසේ.
නව වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කම්කරු ක්ෂේත්‍රයට අදාළ විවිධ අයදුම්පත්, සංශෝධිත කම්කරු නීතිරීති, පඩිපාලක සභා තීරණ, ගැසට් නිවේදන සහ චක්‍රලේඛ බාගත කර ගැනීමේ පහසුකම සලසා ඇත. එසේම සේවක අයිතිවාසිකම් හා රැකියා ස්ථානයේ ගැටලු සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මෙහිදී පහසුකම් සලසා තිබේ.
මීට අමතරව කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මෙන්ම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය යන ආයතනවල නිල වෙබ් අඩවි වෙත පිවිසීමේ පහසුකම ද මීට ඇතුළත් කර ඇත.
මේ අතර, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්වල ප්‍රගතිය මාර්ගගතව පරීක්ෂා කිරීමේ පහසුකම Digital EPF' සේවාව හරහා ලබාදීමේ සමාරම්භය ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.