කෝටි 05ක මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බෝධිය වත්තේ අවිශ්ක නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිටකෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාරේ පිහිටි නිවසකදී සිදුකළ මෙම වැටලීමේදී රුපියල් කෝටි පහකට (මිලියන 50) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි විය.
අත්අඩංගුවට පත් 26 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් (Heroin) මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 01කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (40730) ධනුෂ්ක නිලධාරියාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම ක්‍රියාත්මක කර තිබේ. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, 'බෝධිය වත්තේ අවිශ්ක' නමැති ජාවාරම්කරු විදේශ රටක සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ දේශීය ප්‍රධාන බෙදාහරින්නෙකු ලෙස මොහු කටයුතු කර ඇති බවයි.
මොහු විසින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගබඩා කරගෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කුඩා පරිමාණ ජාවාරම්කරුවන් වෙත බෙදාහැරීම සිදුකර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මාලාව යටතේ සිදුකළ මෙම වැටලීම හරහා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයකට තදබල පහරක් එල්ල කිරීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කර ඔහු සතු නීතිවිරෝධී වත්කම් පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.