මගේ පුතාගේ ජිවිතේ බේරලා දෙන්න පද්මෙගේ අම්මා හඩා වැටෙයි
අභියාචනාධිකරණය අද (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර ඇත.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳ වූ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව මෙම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02වනදා කැඳවන ලෙසය.
එම අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන නොයන බවට මීට පෙර වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව එදින දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළ අතර ඊට අදාළ ප්‍රතිඥාව මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය. පෙත්සම්කාරිය කියා සිටින්නේ සිය පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවය.
රැදවුම් භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.