උගුල් තුවක්කුවට හසු වූ ‘කාවන්තිස්ස’ ඇත් රජුට සුබ ආරංචියක් - සුවය ලබා යළි අලි රංචුවට එක්වෙයි

Report

සියඹලන්ගමුව ප්‍රදේශයේදී ‘උගුල් තුවක්කුවකට’ (trap gun) හසුවීමෙන් ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී තුවාල ලැබූ ‘කාවන්තිස්ස’ නම් ඇත් රජු, වනජීවී පශු වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ ප්‍රතිකාර හමුවේ මේ වන විට සුවය ලබමින් සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිකාරවලින් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරී ඇති අතර, තුවාල වූ පාදයේ ඉදිමීම සහ තුවාලයද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව පශු වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබේ.

දින කිහිපයක් පුරා ප්‍රතිජීවක ඖෂධ ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව කාවන්තිස්ස මේ වන විට වන අලි 15 දෙනෙකුගෙන් පමණ සමන්විත රංචුවක් සමඟ යළි එක්වී සිටින බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

මිගලෑව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ චලනයන් සහ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටිති.

චන්දන ජයසිංහ, ආනන්ද ධර්මකීර්ති, අකලංක පිනිදිය, ඉසුරු හේවකොට්ටගේ සහ පුබුදු අදස්සූරිය යන පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් කාවන්තිස්සට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලබයි.

සැප්තැම්බර් 29 වැනිදා අලුයම 4.00ට පමණ සහ සැප්තැම්බර් 30 වැනිදා රාත්‍රී 10.30ට පමණ සිදුකළ නිරීක්ෂණවලදී කාවන්තිස්ස යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව තහවුරු කරගෙන තිබේ. එමෙන්ම, ඔහු වන අලි රංචුව සමඟ ගමන් කරනු දැකීමද සුවය ලබමින් සිටින බවට සාධනීය ලක්ෂණයක් ලෙස වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා කාවන්තිස්ස නිර්වින්දනය කිරීම ඇතුළු නැවත නැවත සිදුකළ වෛද්‍ය ක්‍රියාමාර්ග සහ වේදනාකාරී එන්නත් හේතුවෙන් ඇති වූ ප්‍රතිචාරයක් ලෙස, එක් නිරීක්ෂණ අවස්ථාවකදී ඔහු වනජීවී නිලධාරීන් පසුපස හඹා ගොස් ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී කාවන්තිස්ස වේගයෙන් තමන් දෙසට පැමිණීමෙන් බේරීමට උත්සාහ කළ වනජීවී නිලධාරියෙකු ඇද වැටී ඇති බවද සඳහන් වේ. මේ අතර, කාවන්තිස්ස වෙත ළඟාවීමෙන් හෝ ඔහු ඡායාරූපගත කිරීම සඳහා ජලාශ ආශ්‍රිතව රැස්වීමෙන් වළකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඡායාරූප ශිල්පීන්, සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

වනජීවී නිලධාරීන් පවසන්නේ කාවන්තිස්ස සහ ඔහු සමඟ සිටින අලි රංචුව සවස් කාලයේදී ජලය පානය කිරීම සඳහා ප්‍රදේශයේ ජලාශ වෙත පැමිණෙන බවයි. එහෙත්, අලි නැරඹීම සඳහා ජනතාව විශාල වශයෙන් රැස්වීම හේතුවෙන් සතුන් නොසන්සුන් වී ජලාශ වෙත පැමිණීම වෙනුවට ජනාවාස ප්‍රදේශ දෙසට ගමන් කිරීමට පෙළඹෙන බවට අවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ලැබී තිබේ.

එබැවින් කාවන්තිස්ස සහ ඔහු සමඟ සිටින අලි රංචුවට බාධාවක් නොවන පරිදි ප්‍රමාණවත් ඉඩක් ලබාදෙන ලෙසත්, ඔහුගේ සුවය නිරීක්ෂණය කිරීමේදී වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමට සහයෝගය ලබාදෙන ලෙසත් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අනවශ්‍ය මිනිස් මැදිහත්වීම් කාවන්තිස්සගේ අඛණ්ඩ පශු වෛද්‍ය නිරීක්ෂණ කටයුතුවලට මෙන්ම අලි රංචුවේ ස්වාභාවික චලනයන්ටද බාධා ඇති කළ හැකි බව වනජීවී නිලධාරීහු අවධාරණය කරති.

පෞද්ගලික අංශයේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර දැන් ඔන්ලයින් - නිකුත් කළ අලුත්ම රීති සහ උපදෙස් මාලාව මෙන්න

පෞද්ගලික අංශයේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර දැන් ඔන්ලයින් - නිකුත් කළ අලුත්ම රීති සහ උපදෙස් මාලාව මෙන්න