රටක් ආදරය කළ වෙඩි වැදුණු ‘කාවන්තිස්ස’ ඇතාට තවත් රෝගී තත්ත්වයක්
ගල්ගමුව ප්‍රදේශයේදී පාදයක ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබමින් සිටියදී තඹුත්තේගම ප්‍රදේශයට සංක්‍රමණය වූ ‘කාවන්තිස්ස’ නමින් ප්‍රසිද්ධ වන ඇතා මේ වනවිට පාචන තත්ත්වයකින් ද පෙළෙන බව වනජීවී නිලධාරීහු පවසති.
අනුරාධපුර කලාපයේ සහකාර වනජීවී අධ්‍යක්ෂ චන්න සූරවීර මහතා සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලබා බරපතළ තත්ත්වයක පසුවූ මෙම අලියා ගල්ගමුව ප්‍රදේශයේ නිතර ගැවසුණු බවයි.
ඒ අනුව පශු වෛද්‍යවරුන් එම සත්වයාට ප්‍රතිකාර ආරම්භ කර තිබේ ඇතාගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් වෙමින් පැවති අවස්ථාවකදී එම සත්වයා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව ද ඔහු පැවසීය.
පසුව වනජීවී නිලධාරීන් සිදුකළ සොයාබැලීම්වලදී අලියා තඹුත්තේගම ප්‍රදේශයේ ගැවසෙන බව හඳුනාගෙන තිබේ. එහිදී ඇතා පාචන තත්ත්වයකින් ද පෙළෙන බව අනාවරණය වී ඇත.
පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වනජීවී නිලධාරීන් තුවාලයට සහ පාචන තත්ත්වයට ප්‍රතිකාර ලබාදීම අඛණ්ඩව සිදුකරන බව ද චන්න සූරවීර මහතා සඳහන් කළේය.