අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය පිළිබද නියෝග
පසුගියදා අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන ජූනි මස නවවැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේදී නියම කළේය.
මෙම පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව පවරා තිබුණු නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයෙකු වන උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්හ.
අදාළ නීතිඥවරුන් දෙදෙනාගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය සාක්ෂි සටහන් කරනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස නවවැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.