මහනුවර නගරයට 2027දී සුපිරි මෙට්රෝ බස් සේවාවක් - මූලික පරීක්ෂණ ධාවනයත් සාර්ථකව අවසන්
2027 වසරේදී මහනුවර නගරය සඳහා මෙට්රෝ නාගරික සුඛෝපභෝගී බස් සේවාවක් හඳුන්වා දීමට අවශ්ය මූලික සැලසුම් සකස් කරමින් පවතින බව නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා ප්රකාශ කළේය.
මෙම වැඩපිළිවෙළේ මූලික කටයුතු ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ කර ඇති අතර, යෝජිත බස් සේවාවට අදාළ මාර්ග සහ මෙහෙයුම් අවශ්යතා හඳුනා ගැනීම සඳහා මෙට්රෝ බස් රථයක් යොදාගෙන පරීක්ෂණ ධාවනයක් ද සිදු කර තිබේ.
නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණ ධාවනයේදී බස් සේවාව සඳහා වඩාත් සුදුසු මාර්ග හඳුනා ගැනීම, අවශ්ය බස් රථවල තාක්ෂණික පිරිවිතර තීරණය කිරීම සහ බස් නැවතුම් ස්ථාන ස්ථාපිත කළ හැකි ස්ථාන පිළිබඳව ඇගයීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ බවයි.
මහනුවර නගරයේ ප්රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ නාගරික ප්රවාහන අවශ්යතාවලට ගැළපෙන බස් සේවාවක් හඳුන්වා දීම සඳහා අවශ්ය පසුබිම සකස් කිරීමයි. ඒ අනුව, මාර්ග තෝරා ගැනීමේ සිට බස් රථවල අවශ්යතා සහ නැවතුම් ස්ථාන තීරණය කිරීම දක්වා වූ මූලික ඇගයීම් කටයුතු සිදු කරමින් පවතී.
2027 වසරේදී මහනුවර නගරයට මෙට්රෝ බස් සේවාව හඳුන්වා දීම සඳහා මෙම සැලසුම් කටයුතු වැදගත් පියවරක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.