මුළු රටම වැඳ පුදා ගැනීමට නොඉවසිල්ලෙන් ඉන්න ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ගැන දැනුම්දීමක්
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) දින පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පාරම්පරික සංස්කෘතික චාරිත්‍රානුකූලව ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර ආරම්භ කෙරෙන බව සඳහන්.
ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳකඩපහණ වෙත පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා පා තබන මොහොතත් සමඟම පෙරහැරේ ගමන් ඇරඹෙයි.
එසේම දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතව ඇත.
එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල් ද මෙයට එක්වෙන අතර මෙම පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (21) දින ප.ව. 6.40ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කර ශ්‍රී දළදා වීදිය හා ඊ.එල් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට ගමන්කර නැවත දළදා මාලිගාව වෙත පැමිණ තිබුණා.
එසේම ඊයේ (21) දින සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලැබුවේ ‘පුලතිසි රාජා’ විසින්.