AI යුගයට ශ්‍රී ලංකාව සූදානම් කරන්න ජපානය සමඟ අලුත් වැඩක් – ජාතික දත්ත මධ්‍යස්ථානයක් ගැනත් සාකච්ඡා
ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ආශ්‍රිත ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්වූහ.
මෙහිදී දෙරට අතර ඩිජිටල් ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ එහි ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු විසඳීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.
එමෙන්ම ඩිජිටල් රූපවාහිනී සංඥා ලබාගැනීම සඳහා භාවිත කරන Set-Top Box උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ. එමඟින් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙන්ම ආනයන මත පවතින යැපීම අඩු කිරීම අපේක්ෂා කෙරේ.
ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් මේ අතර, ශ්‍රී ලංකාවේ AI තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
ඊට අමතරව AI ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ගැළපෙන AI විසඳුම් හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම සහ හොඳම භාවිතයන් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීම තුළින් මෙරට ඩිජිටල් ආර්ථිකය තවදුරටත් දියුණු කිරීමට හැකි වනු ඇතැයිද මෙහිදී අවධාරණය කර තිබේ. JICA සහයෝගය ඇගයීමට ලක් කෙරේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා JICA ආයතනය ලබාදෙන තාක්ෂණික සහයෝගය සම්බන්ධයෙන්ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඇගයීම පළ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් අදාළ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදීත් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ෂිගෙකි හොන්සු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.