බන්ධනාගාරගත භික්ෂූන්ගේ චීවරයට පූර්ණ අයිතිය - අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි .

එමෙන්ම බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්‍ය නියෝග '356'වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ '550' දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇති බවත් සදහන් කර තිබේ .

ඒ අනුව අදාළ නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් වෙත උපදෙස් ලබාදුන් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ මෙවන් අදහසක්

''බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 'අ' ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට. වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකරුවෙකු වුණොත්, මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදාළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා. එම අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු. මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත්, ලිපියත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර, නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා" යනුවෙන් සදහන් කර තිබේ