ශ්‍රී ලංකා මුහුදේ ආන්දෝලනයට ලක්වූ ඉරාන නෞකාවලට මොකද වෙන්නේ? - ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ පවතින ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය තීරණ ගනු ලබන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ පවතින ඉරාන නෞකාවලට පහසුකම් සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇතැයි ඇමරිකාවේ ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණි.
එම වාර්තාවට අනුව, ඇමරිකානු බලධාරීන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබේ. ඇමරිකානු අවහිර කිරීම් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ මුහුදේ රැඳී සිටින මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉල්ලීම් ලැබී ඇති බවත්, රජයේ අනුමැතියකින් තොරව සේවා සැපයීමට නොහැකි බව මෙරට නෞකා නියෝජිතයන් පවසා ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබුණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,
"අපේ අනන්‍ය මුහුදු සීමාව තුළ නාවික සැතපුම් 12ක සීමාව තුළ නැහැ. එතකොට ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේ මේ නැව් ඕන තරම් පවතිනවා. අනික මේ වෙලාවේ යුදමය තත්ත්වයක් පවතිනකොට, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව විවිධ ප්‍රශ්න මතුවෙනකොට මෙවැනි යාත්‍රා හැම පැත්තෙම ඒවා තියෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිවේදන නිකුත් කරලා තියෙන්නේ අපිට විශේෂයක් කරලා නෙමෙයි. මෙවැනි අවස්ථාවකදි අමෙරිකා එක්සත් ජනපදයත් මේ යුද්ධයේ එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. එතකොට රටක් හැටියට ඔවුන්ගේ මතය ඉදිරිපත් කරනවා ලෝකයේ ඕනෑම රටකට මේ වගේ ද්විතීක සම්බාධක පැනවෙන්න පුළුවන් මෙහෙම සැපයුමක් කළොත් කියන එක. මම හිතන්නේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. කෙසේ නමුත් අපි තීන්දු ගන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සිතමින්. අපි මීට වඩා අමාරු වෙලාවක, යුද්ධයේ දරුණුතම වෙලාවෙදිත් අපි ඉතාම දූරදර්ශී තීන්දු ලබා ගත්තා අපි එක පැත්තකටවත් පක්ෂපාතී වුණේ නෑ, කාටවත් එහෙම අමතර පහසුකම් සලසන්න ගියේ නෑ. දෙපාර්ශ්වයම අපෙන් පහසුකම් ඉල්ලා තිබුණා හැබැයි අපි ඉතාම මානුෂීය පදනමේන් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙලා යුද්ධයට සම්බන්ධ කොයි පාර්ශ්වය වුණත් ජීවිත ආරක්ෂා කරගන්නා ආකාරයට තමයි ජනාධිපතිතුමා සහ රජයේ මැදිහත්වීම සිදුවුණේ. ඒ නිසා මේකෙදිත් අපි අපේ රටේ ආරක්ෂාව ගැන හිතනවා, අපේ රටේ ජනතාව ගැන හිතනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපිට කියපු එකක් නෙමෙයි ලෝකේ හැමෝටම කිව්වා මෙහෙම වුණොත් එහෙම ද්විතීක සම්බාධක දානවා කියලා ඉතිං අපිත් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි."