හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි ලැයිස්තුවක්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි ලැයිස්තුවක් සකස් කිරීමට ඉරානය එකඟ වී ඇති බව වාර්තා වේ.
කටාර් අගමැතිවරයා ඉරාන නායකයින් හමුවී ජාත්‍යන්තර නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහසට ගරු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි බ්‍රහස්පතින්දා ටෙහෙරානයේදී ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී ඇති අතර, එහිදී ජාත්‍යන්තර නීතියට අනුකූලව හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහසට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි ප්‍රකාශ කර ඇත්තේ, මැදිහත්කරුවන්ගේ ඉල්ලීම මත සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය විසින් කොන්දේසි ලැයිස්තුවක් සකස් කරමින් සිටින බවයි.
රෙසායි පවසා ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් කිරීම සඳහා ඕමානය සමඟ කොරිඩෝවක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවයි. එම මාර්ගයේ කොටසක් ඕමාන මුහුදු සීමාව හරහාත්, තවත් කොටසක් ඉරාන මුහුදු සීමාව හරහාත් ගමන් කරන බව ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම, ඉරානය ඉදිරිපත් කරන කොන්දේසි එක්සත් ජනපදය පිළිගන්නේ නම්, නෞකා සඳහා නම් කරන ලද මධ්‍යම නාවික මාර්ගයක් භාවිත කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
මීට පෙර ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි අතර ඉරාන වරායන් සම්බන්ධයෙන් පනවා ඇති එක්සත් ජනපද අවහිරතා අවසන් කිරීම, වන්දි ගෙවීම සහ සම්බාධක ඉවත් කිරීම ඇතුළත් වූ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම ඉල්ලීම් එක්සත් ජනපදයට පිළිගත හැකි ආකාරයකින් සංශෝධනය කිරීමට ඉරානය සූදානම්ද යන්න මෙතෙක් පැහැදිලි නැත. ඉරානය සහ ඕමානය අතර සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පාලනය කිරීම සහ එමගින් ලැබෙන ආදායම් බෙදා ගැනීම සම්බන්ධයෙන් මූලික එකඟතාවක් ඇති කරගෙන ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය මීට පෙර ප්‍රකාශ කළද, පසුව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ දෙරට තවමත් අවසන් එකඟතාවයේ විස්තර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.
මේ අතර, මාස කිහිපයකට පෙර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් සමුද්‍ර සන්ධියේ තැන්පත් කළ මුහුදු බෝම්බ එක්සත් ජනපද හමුදාව විසින් ඉවත් කර ඇති බව එක්සත් ජනපද හමුදා නිලධාරීන් පවසයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර නාවික මාර්ග මේ වන විට විවෘතව පවතින බවත්, නාවික ගමනාගමනය යළි ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත්ය.
මෑත මාසවලදී එක්සත් ජනපද හමුදාව බොරතෙල් බැරල් මිලියන 750කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගිය වාණිජ නෞකා 1,500කට පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට සහාය වී ඇති බවද කූපර් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඉරාන තර්ජන හේතුවෙන් බොහෝ නෞකා තවමත් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වේ. නැව් නිරීක්ෂණ සේවා අනුව, සමුද්‍ර සන්ධියේ නාවික ක්‍රියාකාරකම් සාමාන්‍ය මට්ටමේ සියයට 5ත් 15ත් අතර ප්‍රමාණයක පවතින බවට ඇස්තමේන්තු කර තිබේ.
යුද්ධය ආරම්භ වීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සිදුවීම් 70ක් පමණ වාර්තා වී ඇති අතර, ඒවා හේතුවෙන් නාවිකයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වේ.