ඉරාන-ඇමරිකා සාම සාකච්ඡා බිඳ වැටෙයි- ඉරානය සම්පූර්ණ ප්‍රහාරාත්මක යුධ තත්ත්වයකට

Report

ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධය ස්ථිරව අවසන් කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා ඇණහිට ඇති බැවින්, ඉරානය “සම්පූර්ණයෙන්ම ප්‍රහාරාත්මක” හමුදා ඉරියව්වකට මාරුවීමට සූදානම් වන බව ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

එම නිලධාරියා සඳහන් කර ඇත්තේ, වොෂින්ටනය ජුනි මාසයේ ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තත්ත්වය වඩාත් උණුසුම් වී ඇති බවයි.

සාම සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිවීම මෙන්ම උපායමාර්ගික හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිවීමද අර්බුදය තවදුරටත් උග්‍ර කර තිබේ.

ඉරාන නිලධාරියාට අනුව, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය අසාර්ථක වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධියේ සහ පුළුල් කලාපයේ ආතතීන් ඉහළ යාමට ඉරාන ආයතන සූදානම් විය යුතුය. එමෙන්ම එක්සත් ජනපද නාවික අවහිරයකට ප්‍රතිචාර වශයෙන් “කාලෝචිත සහ නිරවද්‍ය” හමුදා ප්‍රහාරයක් සිදුකිරීමටද ටෙහෙරානය සූදානම් වන බව ඔහු සඳහන් කර තිබේ. ජුනි 17 වැනිදා අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් මගින් දෙරටට අවසන් සාම ගිවිසුමකට පැමිණීම සඳහා දින 60ක කාලයක් ලබාදී තිබිණි.

දකුණු පිලිපීනයේ කතෝලික පාසලක ලේ වැගිරීමක්- අධි බලැති තුවක්කුවකින් සිසුවෙකුට සහ ගුරුවරයෙකුට වෙඩි තබා මරාදමයි

දකුණු පිලිපීනයේ කතෝලික පාසලක ලේ වැගිරීමක්- අධි බලැති තුවක්කුවකින් සිසුවෙකුට සහ ගුරුවරයෙකුට වෙඩි තබා මරාදමයි

එම ගිවිසුම ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ එක්සත් ජනපද සම්බාධක සම්බන්ධයෙන් පුළුල් එකඟතාවක් ඇති කර ගැනීම අරමුණු කර තිබුණි. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේදයක් ඉක්මනින්ම මතුවිය.

යුද්ධයට පෙර ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගමන් කළ මෙම පටු මුහුදු මාර්ගය මේ වනවිට කලාපීය අර්බුදයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්ද තදබල ප්‍රතිචාරයක් එල්ල වී තිබේ. ජුනි මාසයේ තාවකාලික ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමට ඇමරිකාව සූදානම්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සම්පූර්ණයෙන්ම වැසී නොමැති බවටද වාර්තා පළවෙමින් තිබේ.

මාධ්‍ය වාර්තා අනුව, ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ බලවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ පසුබිම් සාකච්ඡා ආරම්භ කර තිබේ.

‘ඇක්සියෝස්’ වාර්තාවකට අනුව, හිටපු ඇමරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්, IRGC සමඟ සම්බන්ධතා ඇති ඉරාක කුර්දි නායකයෙකු හරහා ඉරාන පාර්ශ්වයට පණිවුඩයක් යොමු කර තිබේ. එම පණිවුඩය IRGC අණදෙන නිලධාරී ජෙනරාල් අහමඩ් වහිඩි වෙත ලබාදී ඇති බව සඳහන් වේ. ට්‍රම්ප්ගේ බෑණා සහ විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්නර්ද දෙරට අතර විවිධ මට්ටම්වල සංවාද තවමත් සිදුවන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ඕමානය සමඟ වෙනම සාකච්ඡා පවත්වමින් සිටින අතර, දෙරට ගිවිසුමකට ආසන්නව සිටින බව ඉරාන පාර්ශ්වය පවසයි. එහෙත් ඕමානය එම ගමනාගමනයට බාධා කළහොත් එරටට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

දිග්ගැස්සෙන ගැටුම ඉරානයේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කර ඇත. ඉහළ උද්ධමනය, දුර්වල මුදල් ඒකකය, බලශක්ති හිඟය සහ ජාත්‍යන්තර සම්බාධක සමඟ දැනටමත් අර්බුදයක සිටි ඉරානය, යුද්ධයෙන් හානි වූ යටිතල පහසුකම්, බාධා වූ වෙළෙඳාම සහ නැවත ගොඩනැගීමේ අධික වියදම්වලටද මුහුණ දෙමින් සිටී. මේ අතර, ගැටුම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළද දැඩි පීඩනයකට ලක්ව තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල යුද්ධය අතරතුර බැරලයකට ඩොලර් 126ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සඳුදා එය ඩොලර් 90.87ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඇමරිකාව තුළද ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම දැනෙමින් පවතී. AAA දත්ත අනුව, පෙට්‍රල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 4 ඉක්මවා ඇති අතර, යුද්ධයට පෙර එය ඩොලර් 3ට අඩු මට්ටමක පැවති බව සඳහන් වේ.

එළඹෙන නොවැම්බර් කොංග්‍රස් මැතිවරණය ආසන්නව තිබියදී ඉන්ධන මිල ඉහළ යාම ඇමරිකානු ජනතාවට මෙන්ම ට්‍රම්ප් පරිපාලනයටද සැලකිය යුතු දේශපාලන අභියෝගයක් බවට පත්වෙමින් තිබේ.