ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වී ඇත.
මෙම සංවාදයේදී, IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා රජය ලබාදුන් සහාය සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ මළ සිරුරු ඉරානයට යළි භාරදීම සඳහා කළ උත්සාහයන් පිළිබඳව ඉරාන පාර්ශවයෙන් කෘතඥතාව පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
තවද, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින්, එය එක්සත් ජනපදය විසින් සිදුකළ “පෙර නොවූ විරූ යුද අපරාධයක්” ලෙස අර්ථ දක්වා ඇත.
ඒ අනුව, මෙම ක්‍රියාව ජාත්‍යන්තර මානුෂීය නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, වගකිව යුතු පිරිසට නීතිමය සහ දේශපාලනික ක්‍රම මගින් වගකීම් පැවරීමට ඉරානය කටයුතු කරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
ඊට අමතරව, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය තත්ත්වයන් පිළිබඳවද මෙම සංවාදයේදී සාකච්ඡා කර තිබේ.