හිටපු කතානායක වරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි
හිටපු කතානායක වරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි චමල්ගේ පුත් ශමින්ද්‍ර අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි .
හිටපු කනාතානයක චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙම නියෝගය ලබාදෙනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම්කරමිනුයි .
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් ගෙන්වීමේ දී ඇමෙරිකා ඩොලර් මිලියන දෙකක පමණ වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනයක් සිදුකෙරෙමින් පවතියි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනුයේ 2012 – 13 කාලසීමාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් 10ක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී සිදුවූ දූෂිත ගණුදෙනුවකට අදාළවයි .
තවද ඔවුන් දැනුම් දුන්නේ 3 වන සැකකරු ලෙස චමල් රාජපක්ෂ මහතාගේ බාල පත් ශමින්ද්‍ර රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මෙම නඩුවේ සෙසු සැකරුවන් වේ ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර තිබේ .
කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දැනට ඇමෙරිකාවේ පදිංචි බව කියන ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා ලෙසයි.
රතු වරෙන්තු නිකුත් කිරීම සඳහා ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. 2012-13 කාලසීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
එම යානා අතරින් ඒ 330 යානා 6ක් සහ ඒ 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.
මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍ය යේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙළිවීමත් සමගිනි.
එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සදහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 16.84ක අල්ලස් ලබාදීමට පොරොන්දු වී ඇති බව එම විමර්ශනයේ දී හෙළිවිය .
තවද එහිදී අනාවරනය වූයේ හෙළිවූයේ ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිදට අයත් බෘෘනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැරකර ඇති බවයි.
පසුව මෙරට සිදුකළ විමර්ශන වාර්තාවක් මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ බෘෘනායි රාජ්‍ය යේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමට මාරුකර යවා තිබේ.
මෙරට ගිණුම් දෙකකට ද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී තිබෙන බව වාර්තා වේ.
එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 දී ඇමෙරිකානු ඩොලර් 160,000ක මුදලක් බැරවී තිබුණු බවද හෙළිව තිබේ .
මේ සම්බන්ධයෙන් ශමින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළත් ඔහුගේ ඇමෙරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක වී නොමැත .
තවද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන්ද මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
මේ අතර මෙම එයාර් බස් ගණුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේදී අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමින්ද රාජපක්ෂ සිටි බවත් ඊට අදාළ රැස්වීම කතානායක නිල නිවසේ දී පවත්වා ඇති බවත් විමර්ශන වලදී හෙළිව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනුයේ විමර්ශන වාර්තා ඇතුළු ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඊයේ ශමින්ද රාජපක්ෂ තුන්වන සැකකරු ලෙස නම්කරන බවයි.