ආයෝජකයෝ සහ සංචාරකයෝ සාදරයෙන් – අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීම සඳහා ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජය ඉතා අගය කරන බවයි.
ඇය මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - ඉන්දියා සංගමය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් හා රාත්‍රී භෝජන සංග්‍රහය අමතමිනි.
මෙහිදී සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ "Port of Call" ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරියට හා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පිළිගැන්වීමද සිදු විය.
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළේ, තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.
ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ඉන්දියානු ව්‍යාපාරවලින් වැඩි ආයෝජන ලබා ගැනීම සහ ඉන්දියාවෙන් වැඩි සංචාරක ප්රවාහයන් පැමිණීම ඉතා සාදරයෙන් පිළිගන්නා බව ද ඇය පැවසුවාය.
ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ආර්ථික සංවර්ධනය, බලශක්තිය, සම්බන්ධතාවය, වෙළඳාම හා ආයෝජන, ඩිජිටල් පරිවර්තනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව සහ ජනතාව අතර සම්බන්ධතා ඇතුළු බහුවිධ අංශ හරහා විහිදී ඇති බව ද ඇය සඳහන් කළාය.
ඉන්දියාව සමීපතම අසල්වැසියා හා වැදගත් හවුල්කරුවෙක් බවත්, ලාංකික ජනතාවගේ සහ කලාපයේ යහපත සඳහා සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
පසුගිය වසර තුළ ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ශක්තිමත් බව නැවත වරක් දැක ගත්තා.
විශේෂයෙන් දෙව්නිමෝරි ශුද්ධ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමට ලබා දුන් සහයෝගයටත්, දිට්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ විට සාගර බන්ධු මෙහෙයුම හරහා පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ආකාරයටත් අපි ඉතා කෘතඥයි ඇය පැවසුවාය.
1949දී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ඉන්දියානු සංගමය දශක හතකට වැඩි කාලයක් පුරා දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක වී ඇති අතර, සංස්කෘතික සහභාගීත්වය, සංවාදය සහ තිරසාර අන්තර්ක්‍රියා හරහා රජයන් අතර පමණක් නොව ජනතාව අතර සබඳතාවලට ද සහාය වී තිබෙන බව විශේෂත්වයකි.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී පැවසුවේ, ඉන්දු - ලංකා සබඳතාවල ඉහළ වර්ධනයක් වත්මන් කාලය තුළ දක්නට ලැබෙන බවයි.
"දෙරට අතර සබඳතාව හුදු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගිය ශක්තිමත් හා විශේෂ සබඳතාවක්. ඉන්දියාවෙන් බැහැරව පිරිනමනු ලබන ප්‍රථම ජාත්‍යන්තර උපාධිය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීම, සන්නිවේදන සම්බන්ධතා සහ පුද්ගල සබඳතා වැනි ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී තිබෙනවා," ඔහු සඳහන් කළේය.