විභාග ප්‍රතිසංස්කරණ වේගවත් කරමින් ඉන්දීය රජයෙන් හදිසි පියවරක් ලෙස නව නිලධාරීන් බඳවා ගැනේ

By Malith Madushan Jul 27, 2026 04:49 AM GMT
Report

ඉන්දියාවේ ප්‍රධාන තරඟ විභාග පවත්වන ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) විභාග පද්ධතිය ශක්තිමත් කිරීමේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් ලෙස ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු කිහිපයක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබේ.

ඒ අනුව, තක්සේරු හා මනෝමිතික පර්යේෂණ (Assessment – R&D and Psychometric), විභාග මධ්‍යස්ථාන ජාලය සහ මෙහෙයුම්, තොරතුරු ආරක්ෂාව (Chief Information Security Officer) සහ විමර්ශන, නිරීක්ෂණ හා අධිකරණ විද්‍යා කටයුතු (Vigilance, Investigation and Forensics) යන අංශ සඳහා සාමාන්‍යාධිකාරී තනතුරු හතරක් පිරවීමට අයදුම්පත් කැඳවා ඇත.

LinkedIn සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් NTA සඳහන් කළේ, මහාචාර්ය කේ. රාධාකෘෂ්ණන්ගේ සභාපතිත්වයෙන් යුත් උසස් මට්ටමේ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව ආයතනයේ ඉතිහාසයේ විශාලතම ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වන බවයි.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රලාද් ජෝෂිට

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රලාද් ජෝෂිට

එම නිවේදනයට අනුව, අධ්‍යයන ගුණාත්මකභාවය, තාක්ෂණය, ආරක්ෂාව, මෙහෙයුම් සහ පාලන ව්‍යුහය යන සියලු අංශ ශක්තිමත් කරමින් කෝටි සංඛ්‍යාත විභාග අපේක්ෂකයන්ට වඩාත් විශ්වාසදායක සේවාවක් සැපයීම මෙහි අරමුණ වේ.

මීට අමතරව, සිවිල් සේවා විභාගවලට පෙනී සිටි තරුණ වෘත්තිකයන් සඳහා අධ්‍යයන පර්යේෂණ අංශයේ තනතුරු 12ක්, නීති පර්යේෂණ අංශයේ තනතුරු දෙකක් සහ මූල්‍ය හා ගිණුම්කරණ පර්යේෂණ අංශයේ තනතුරු දෙකක් සඳහාද අයදුම්පත් කැඳවා තිබේ.

මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ වෛද්‍ය සහ ඉංජිනේරු ඇතුළු තරඟ විභාග පැවැත්වීමේ ක්‍රමවේදය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ ඉන්දීය රජයේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසය.

NTA ආයතනය විසින් ජාතික සුදුසුකම් හා ප්‍රවේශ විභාගය (NEET), ඒකාබද්ධ ප්‍රවේශ විභාගය (JEE), පොදු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය (CUET) ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන තරඟ විභාග රැසක් සංවිධානය කරනු ලබයි.

පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිදුවීම් හේතුවෙන් ඇති වූ දැඩි විරෝධතා සහ විභාග පද්ධතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, ඒ සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක්ද ඉන්දීය රජය පත් කර තිබේ.

ඊට අමතරව, ප්‍රශ්න පත්‍ර කාන්දු කිරීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීම සහ එවැනි සිද්ධීන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා කඩිනම් අධිකරණ ක්‍රමවේදයක්ද ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ

සුළු මොහොතකට පෙර ඉන්දියාවම හොල්ලපු කැරපොතු විරෝධතාවය අවසන් වෙයි - මෙන්න විස්තරේ