දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක ප්රකාශයක්
දරුවන්ට ද අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බව ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කර තිබේ. ඒ අනුව, වයස් සීමාවක් පදනම් කරගෙන දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්රතික්ෂේප කර ඇත.
ඉන්දීය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 21 වැනි වගන්තිය සහ 19(1)(a) වගන්තිය සමඟ කියවීමේදී, අන්තර්ජාලයට පිවිසීමේ සහ එය භාවිත කිරීමේ අයිතිය සෑම පුද්ගලයකුටම හිමි මූලික අයිතිවාසිකමක් බව අධිකරණය සඳහන් කර තිබේ.
වයස කුමක් වුවත් දරුවන්ට ද එම අයිතිවාසිකම් හිමි බවත්, ඔවුන්ට අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිය මුළුමනින්ම අහිමි කිරීම සාධාරණ නොවන බවත් විනිසුරුවරුන් පෙන්වා දී ඇත.
විනිසුරුවරුන් වන ජේ. බී. පර්ඩිවාලා සහ කේ. වී. චන්ද්රන් මෙම නිරීක්ෂණ සිදුකර ඇත්තේ ඔක්තෝබර් 15 වැනිදා පැවති නඩු විභාගයකදීය.
සමාජ මාධ්ය වේදිකා හරහා ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම් සම්බන්ධ අන්තර්ගතයන් පිළිබඳව ඉන්දීය බලධාරීන්ට වාර්තා කිරීමේ නීතිමය වගකීම් එම වේදිකා ඉටු නොකරන බවට ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරිණි.
පෙනහළු සැත්කමෙන් පසු 14 වන ලියෝ පාප් වහන්සේ රෝහලේ සිටම දිව්ය පූජාව පවත්වයි- වතිකානයෙන් නිකුත් වූ සුවිශේෂී ඡායාරූප මෙන්න
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර
දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ නිදහස එකිනෙකට පටහැනි කරුණු නොවන බව අවධාරණය කළ ශ්රේෂ්ඨාධිකරණය, දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කිරීම වෙනුවට ඔවුන් ආරක්ෂා කිරීම සඳහා දැඩි පියවර ගත යුතු බව පෙන්වා දී තිබේ.
ඒ අනුව, දෙමාපියන්ගේ පාලනය ශක්තිමත් කිරීම, සමාජ මාධ්ය වේදිකාවල ළමා ආරක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ ළමා ලිංගික අපයෝජන සම්බන්ධ අන්තර්ගතයන් ඉවත් කිරීමේ අවශ්යතාව අධිකරණය අවධාරණය කර ඇත.
නීතියෙන් තහනම් කළ පමණින් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම නතර නොකරන බව ද අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම, ළමා අපයෝජන අන්තර්ගතයන් සමාජ මාධ්ය ඔස්සේ යළි යළිත් සංසරණය වීම සම්බන්ධයෙන් බලධාරීන් සහ සමාජ මාධ්ය අතරමැදි ආයතන ප්රමාණවත් පියවර ගෙන නොමැති බවට ද අධිකරණය අවධානය යොමු කර ඇත.
අපයෝජන අන්තර්ගත හඳුනාගැනීමට ජාතික දත්ත පද්ධතියක්
තහවුරු කරන ලද ළමා අපයෝජන අන්තර්ගතයන්ට අදාළ ඩිජිටල් හඳුනාගැනීමේ දත්ත සහ වෙබ් ලිපින ඇතුළත් ජාතික දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්යම රජයට නියෝග කර තිබේ.
එවැනි අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා රූප හඳුනාගැනීමේ තාක්ෂණික ක්රම, වෙබ් ලිපින ලැයිස්තුගත කිරීම සහ වෙනත් තාක්ෂණික ක්රියාමාර්ග සම්බන්ධයෙන් මාර්ගෝපදේශ හා සම්මත මෙහෙයුම් ක්රියාපටිපාටි සකස් කරන ලෙස ද අධිකරණය උපදෙස් දී ඇත.
අන්තර්ජාලය, විශේෂයෙන්ම දරුවන්ට පහසුවෙන් පිවිසිය හැකි සමාජ මාධ්ය වේදිකා, ලිංගික සූරාකෑම් සහ අපයෝජන අන්තර්ගතයන් සඳහා ඉඩක් නොවිය යුතු බව ද ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ.