ඉන්දියාවෙන් අලුත්ම වැඩක් - ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය නිර්මාණයට
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අයත් කච්හි වියළි ලුණු තලාවන් ආශ්‍රිතව, සිතාගත නොහැකි තරම් දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දියාව විසින් නිර්මාණය කරමින් පවතියි.
‘අදානි ග්‍රීන් එනර්ජි’ සමාගම පවසන පරිදි, ගුජරාටයේ ඛව්දා ප්‍රදේශයේ ඉදිවන මෙම බලශක්ති සංකීර්ණය මේ වන විට ඉන්දියාවේ හරිත බලශක්ති ප්‍රවේශයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.
මේ වන විටත් මෙම කාන්තාර භූමියේ මෙගාවොට් 9,500 ක සූර්ය බලශක්ති ධාරිතාවක් සාර්ථකව ජාතික පද්ධතියට එක් කිරීමට ඔවුන් සමත්ව තිබේ. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ එහි විශාලත්වය පමණක් නොව සූර්ය පැනල, සුළං ටර්බයින, බැටරි ගබඩා පද්ධති, සම්ප්‍රේෂණ රැහැන් සහ ජලය ඉතිරි කරන රොබෝ තාක්ෂණය එක් කරමින් මෙය එකම දැවැන්ත පිරිසිදු බලශක්ති යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර තිබීමයි.
මේ හරහා නිවාස, කර්මාන්තශාලා සහ නගරවලට සැබෑ ලෙසම විදුලිය අවශ්‍ය වන ඕනෑම අවස්ථාවකදී, ප්‍රායෝගිකව භාවිත කළ හැකි විශ්වාසදායක හරිත විදුලියක් සැපයීමට හැකියාව ලැබේ. වර්ග සැතපුම් 208 ක නිසරු භූමියක පැතිර පවතින මෙම ඛව්දා ව්‍යාපෘතිය, සමස්තයක් ලෙස ගිගාවොට් 30 ක ධාරිතාවකින් යුත් පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ලෙස සැලසුම් කර තිබේ. ව්‍යාපෘතියේ පරිමාණය පැහැදිලි කරමින් අදානි ග්‍රීන් සමාගම පවසන්නේ, මෙම භූමිය ප්‍රංශයේ පැරිස් නගරය මෙන් පස් ගුණයකටත් වඩා විශාල වන අතර, ඉන්දියාවේ මුම්බායි නගරය තරම්ම විශාල වන බවයි.
මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඉතා වේගයෙන් සිදුවෙමින් පවතියි. පසුගිය 2024 මාර්තු මාසයේදී අදානි ග්‍රීන් සමාගම සඳහන් කළේ සූර්ය පැනල මොඩියුල මිලියන 2.4 ක් පමණ භාවිත කරමින්, මාස 12 කටත් අඩු කෙටි කාලයකදී ඛව්දා හි පළමු ගිගාවොට් 1 ක සූර්ය බලශක්ති ධාරිතාව නිපදවීමට තමන් සමත් වූ බවයි. ඉන්පසු ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ මෙම ව්‍යාපෘතිය යටතේ 2026 ජූලි මාසය වන විට ගිගාවොට් 9.5 ක සූර්ය බලශක්ති ධාරිතාවක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමාගමට හැකි වී තිබේ.
මේ සමඟ අදානි සමාගමේ සමස්ත සක්‍රීය පිරිසිදු බලශක්ති ධාරිතාව ද ගිගාවොට් 20 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම වූ පසු, වසරකට විදුලි ඒකක (කිලෝවොට්-පැය) බිලියන 81 ක් පමණ නිපදවීමට නියමිතයි. එය ඉන්දියාවේ සාමාන්‍ය නිවාස මිලියන 16කට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය සැපයීමට ප්‍රමාණවත් දැවැන්ත බලශක්ති ප්‍රමාණයක් වේ.