මේ සරසවියේ සිසුන්ට ඉන්දියාවෙන් වැඩි කළ ශිෂ්‍යත්ව ආධාර - මසකට රුපියල් 7,500 ක්
යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික අපහසුතා සහිත එහෙත් දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන “වැඩි කළ ශිෂ්‍යත්ව ආධාර” බෙදා දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) දින යාපනය විශ්වවිද්‍යාලයේදී සිදු කර ඇත.
මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ පසුබිම සලකා බැලීමේදී, එය මීට පෙර 2023-24 අධ්‍යයන වර්ෂයේදී ද ඉන්දීය රජයේ ආධාර යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ තෝරාගත් සිසුන් 100 දෙනෙකු සඳහා මසකට රුපියල් 5,000 බැගින් ක්‍රියාත්මක වූ මූල්‍ය ආධාර ක්‍රමයකි.
එහිදී ලැබුණු සාර්ථක ප්‍රතිචාර මෙන්ම විශ්වවිද්‍යාල බලධාරීන් සහ සිසුන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුරදී යාපනය විශ්වවිද්‍යාලයේ මෙන්ම නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ද සිසුන් සඳහා මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දී තිබුණා.
එබැවින් 2025-26 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සකස් කර ඇති මෙම නව වැඩි කළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය යටතේ, සෑම වසරකම පළමු වසරේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂිත සිසුන් 100 දෙනෙකු සඳහා මසකට රුපියල් 7,500 බැගින් මූල්‍ය ආධාර පිරිනැමෙයි.
එසේම එම මුදල ඔවුන්ගේ සමස්ත අධ්‍යයන පාඨමාලාව අවසන් වන තෙක්ම අඛණ්ඩව ලබා දීමට නියමිත බව සඳහන්. මෙසේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වන විට, එහි සිව්වැනි වසර වන විට විශ්වවිද්‍යාලයේ සිසුන් 400 දෙනෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව මුදල් පිරිනැමීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ අතර උත්සව සභාව අමතමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අවධාරණය කර ඇත්තේ, මෙම මූල්‍ය ආධාර මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් වන අතර, ඔවුන්ගේ අනාගතය, පෞද්ගලික වර්ධනය සහ අධ්‍යාපනය වැනි සැබෑ වැදගත් කරුණු කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීමට එමඟින් මඟ පෑදෙන බවයි.
එමෙන්ම මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දියාව විසින් සිදු කරනු ලබන දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වයේ තවත් එක් සුවිශේෂී පියවරක් වශයෙන් පෙන්වා දෙයි.


