“තවත් 73ක් ගේන්න ඉන්නවා” - පොලිස්පතිගෙන් රතු වරෙන්තුකරුවන් ගැන අති ප්‍රබල හෙළිදරව්වක්
විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති තවත් පුද්ගලයින් 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
එමෙන්ම තවත් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය මෙන්ම එහි විනිවිදභාවය සම්බන්ධයෙන් විදේශ රටවල් සහ තානාපති කාර්යාලවලින් විශේෂ ඇගයීමක් ලැබී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
මෙම මෙහෙයුම් නතර කරන ලෙස කිසිදු බාහිර බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වී නොමැති බවත්, ඒ වෙනුවට වැටලීම් සහ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් පොලිස්පතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මුදල් ආයෝජනය කළ සහ ඒවාට ආධාර අනුබල ලබාදුන් පිරිස් මේ වනවිට දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
තමන් සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ පිළිබඳ කිසිදු බියක් නොමැති බවත්, ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කර තිබේ.
තමන් කිසිදු සමාජ අසාධාරණයක් හෝ විනාශයක් සිදුකර නොමැති බැවින් විශේෂ ආරක්ෂාවකින් තොරව වුවද රටේ ඕනෑම ප්‍රදේශයකට බියකින් තොරව යා හැකි බවද ඔහු පවසා ඇත.
ජනතාව අතරට යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇත්තේ තමන්ට නොව, ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරමින් රටට විනාශයක් සිදුකළ දේශපාලනඥයන්ට බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. “තවත් රතු වරෙන්තුකරුවන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා” යනුවෙන්ද පොලිස්පතිවරයා සඳහන් කළේය.