හිතුවෙවත් නැති විදිහට ලංකාවට අන්ත පරාජය උරුම කළ - නසාව් තණතීරුවේ වැරැද්ද ICC ය පිළිගනියි.

Cricket Sri Lanka Cricket International Cricket Council T20 World Cup 2024
By Wayomi Jun 07, 2024 12:52 PM GMT
Wayomi

Wayomi

Report

ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා “පිළියමක්” යෙදීමට උත්සාහ කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ඉකුත් දා ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේ අතිශය දුෂ්කර කඩුල්ලක් මත ක්‍රීඩා කිරීමෙන් දිනකට පසු ඊයේ (06) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය් මේ පිළිබඳව සඳහන් කළේ, නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කළ තණතීරු අපට අවශ්‍ය තරම් ප්‍රමිතියක් පෙන්නුම් කර නැති බවයි.

“ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරග සඳහා හොඳ ම තණතීරු ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටී.” යනුවෙන්.

මාස පහක කාලයක් තුළ උද්‍යාන භූමියක සකසා ගෙනැවිත් සවි කරන ලද මෙම තණතීරු මත මුලින් ම ජාත්‍යන්තර තරගයක දී පන්දුවට පහර දුන් කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 77කට දැවී ගියා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ද එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 4ක් දැවී යමින්.

අනතුරුව පැවැති ඉන්දියා – අයර්ලන්ත තරගයේ දී ද මෙම තණතීරුවේ හැසිරීම දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහි දී මුලින් ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96කට සියලු දෙනා දැවී ගියා.එහි දී ද පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ජය ලැබුවද තණතීරුවේ වන ආන්දෝලනාත්මක හැසිරීම හේතුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ රිෂාබ් පාන්ට්ගේ ශරීරයේ පන්දුව වදිනු ලැබූ අවස්ථා වාර්තා වුණා.

මේ අතර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විසින් එල්ල කරන ලද පන්දුවක් අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර්ගේ ඇඟිල්ලේ ද වැදුණු අවස්ථාවක් තරගයේ දී වාර්තා වුණා.

ඉන්දියා-අයර්ලන්ත තරඟයෙන් පසුව, එම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, ESPNcricinfo හි Timeout වැඩසටහනේ ප්‍රවීණයෙකු වන හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) පැවසුවේ එය “භයානක මායිමක්” බවයි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩාංගණයේ තණතීරු අංක 2 සහ 3 තවමත් ක්‍රීඩා සඳහා භාවිතා කර නොමැති අතර, එහි මතුපිටින් එකක තණකොළ කපා දමා ඇති බව නිරීක්ෂණය වී ඇති බව ESPNcricinfo වාර්තා කරනවා.